ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

10/3/10

" බෝනිකි ගෙදර " වේදිකා නාට්‍යය පිළිබඳව සහෘද විමංසාව



ජීවිතය තුල ඇති වන්නා වූ ගැටළු ජීවිතය තව තවත් ජීවත් කරවයි .එම ගැටලුව මිනිසුන් අතරම පැන නැගී මිනිසා සමගම පෝෂණය වී මිනිසා අතරම පුපුරා යයි .ඒ තුලින් ඇති වන්නා වූ කම්පනය ඒ ඒ පුද්ගලයාට බලපාන්නේ ඒ වට ඔවුන් හට තිබෙන සම්බන්ධතාවය අනුවයි . ලෝකයේ කලාව යන්නද ගොඩ නැගෙන්නේ මේ කියන්නා වු මිනිස් කුලකය තුලමය .නමුත් මෙලෙස ගොඩනැගෙන්නා වූ කලාව තුලින් නාට්‍ය කලාව හුදෙක් මිනිසා සමගම ගැටෙමින් පෝෂණය වූවකි .මේ ආකාරයට පෝෂණය වන්නා වූ නාට්‍ය තුල මිනිසා හ මිනිසාගේ ජීවන වෑයම හෙලිදරව් කෙරෙන කලා කෘතීන් සම්භාව්‍ය යන්නාවූ සිද්ධාන්තය තුලට පිවිසෙයි .අප ජීවත් වන ලෝකය තුල අපට දැනෙන අප දකින් ජීවන යථාර්තය මෙම කෘතීන් තුල නිර්මානය වී තිබෙයි . මෙලෙස නිර්මානය වූ නාට්‍ය අතුරින් ලෝක ධර්මතාවය වේදිකාවට ගෙන ආ නාට්‍ය කරුවකු වන නෝවේජියානු ජාතික හෙන් රික් ඉබ්සන්ගේ බෝනිකි ගෙදර නම් වූ සම්භව්‍ය මා කලා නිර්මණය තුන් කල් සංස්පර්ෂණය කළ නාට්‍ය නිර්මාණයක් ලෙස දැක්වීමට කැමැත්තෙමු .

ලෝකයේ වේදිකාවට ගෙන ඒමට අපහසුම නාට්‍ය කරුවන් වේනම් ඒ අතර ඉහලින්ම සිටින්නේ ඉබ්සන් යැයි කීමට පුළුවන .ඔහු තම නාට්‍ය තුල පෝෂණය කරනු ලැබුවේ මිනිසා අතරම ඇති අරගලයන්ය .සමාජය තුල සම කාලීනව තිබූ සිදුරුය .මේ ඔස්සේ යමින් එකල සමාජ වපසරිය තුල ඔහු දුටු කාන්තාව හා සමාජය යන කාරණාව වැඩිපුර තම තේමා කර ගැනීමට උනන්දු වී ඇති බව කීමට පුළුවන . නමුත් ඔහු කාන්තාවගේ විමුක්ති දායකයා ලෙස කටයුතු නොකළ බව් අකිව යුතුය . නමුත් බොහො සමකාලීනයන් ඔහුව දුටුවේ එලෙසටය . ප්‍රධාන වශයෙන් මෙම බොනිකි ගෙදර නාට්‍ය තුලින් එය එලෙස මතු වන බව ඔවුහු දැක්වූහ .බෝනිකි ගෙදර නාට්‍යයේ නෝරා තම නිවස අතහැර යාම ඔවුහු අර්ථ කථනය කර දැක්වූයේ පිරිමියා අතහැර තම විමුක්තිය වෙනුවෙන් සටන් වදින ගැහැණිය ලෙසටය .නමුත් ඉබ්සන් සිය නාට්‍ය පුරාවටම අර්ථ දැක්වීමට උතසහ දරන්නේ විමුක්ති ධර ගැහැණිය නොව එකිනෙකාව වටහා ගැනීම යන කාරණාවයි .

ශ්‍රී ලංකාව තුල අද වන විට මෙම නාට්‍යය සිව් වතාවක් පමාණ නිෂ්පාදනය විය . නමුත් මේ කියන්නාවු වැටහීම යන සිද්ධානිත ඒවා තුල කෙතරම් දුරට ගොද නගමින් ඒ ඒ චරිත වලට සාධාරණයක් වුනාද යන්න ගැටළුවකි . එලෙස ප්‍රශ්නාර්ථයන් ඉතිරිව තිබියදී මෑතක නිෂ්පාදන්ය වූ බෝනිකි ගෙදර නාට්‍ය කෙතරම් දුරට මෙම අභියෝගය භාර ගත්තාද යන්න් විමසීම වටිනේය .

පළමු වශයෙන් මෙහි පෙළ අධ්‍යයනය කරන්නෙකුට වැටහෙන පලමු කාරනාව වන්නේ මේ තුල ඉබ්සන් යොදාගෙන තිබෙන්නේ ස්ටැනිස්ට් ලාවුස්කිගේ රංගන විධික්‍රමය යන්න බවයි .නාට්‍ය තුල ඒ ඒ චරිත විග්‍රහ කිරීමත පහසු මෙන්ම යෝග්‍යම වන්නේ එයයි . පැසසුම් සහගතව පළමුව මේ කියන්නා වු ක්‍රමය මෙම නාට්‍ය තුල සාර්ථකව යොධාගෙන තිබුනු බව ජගත් බණ්ඩාරයන්ගේ අධ්‍යක්ෂණයක් ලෙස වේදිකා ගත වූ බෝනිකි ගෙදර නට්‍යයෙන් හෙලිදරවි විය . එයින් නාට්‍යයේ මූලික පදනම ඔහු විසින් හදුනාගෙන තිබෙන බව කිය හැකිය .

නෝරා යනු මෙම නාට්‍යයේ අර්ථකතනයට අනුව බෝනික්කියයි .තම පියා තුරුලේහි හුරතල් වන ඇය ටෝවල්ගේ හුරතල් බට්ටිච්චි ලෙස , ගී කිරිල්ලි ලෙස නැතිනම් හා පැටික්කි ලෙස ඔහුගේ සෙවනට එයි .සම්කාලින සමාජයට අනුව ඇයටද වූයේ සැමියාගේ සෙවන මත ඔහුට රිසිසේ ඔහුට හුරතල් වෙමින් සිටීම පමණි . ඇයගේ කාර්යය දරුවන් සමග ගෙවන ජීවිතය පමණි .නමුත් ඇය අන් අයතරම් බොළඳ නැත .ඇය නිසැකයෙන්ම ශක්තිමත් ගැහැනියකි .

ගැහැණියකටතම විවාහයෙන් පසු ජීවන රුකුල වන්නේ තම සැමියාය .ඇය හා සැමියා අතර හටගන්නේ ආත්මගත බැඳීමකි .ආසියාවේ සැමියා මැරුණු ගැහැනිය වැන්දඹුවයි .නැතිනම් පව්ගෙවිය යුතු පව්කාරියකි .නැතිනම් අන් පිරිමින්ගේ සුව යහන මත නිදන වෛශ්‍යවකි .මෙන්න මේ කියන්න වූ ප්‍රස්තුතයන් ගොඩ නැගීමට පෙර තම සැමියා සුරක්ෂිත කර ගැනීම නියම බිරියකගේ වගකීම වෙයි .මෙලෙස ආසියාව තුල පමණක් නොව ලොව ඕනෑම ගැහැනියක තම සැමියා මරණ මංචකයේ සිටිනු දැකීමට කිසිදා නොපතයි .බෝනිකි ගෙදර නාට්‍යයේද නෝරා ක්‍රියා කරන්නේ මේ කියන්නා වු පොදු ගැහැණියගේ භූමිකාවට අනුවය .ක්‍රොග්ස්ටඩ්ගෙන් තම සැමියට හොරෙන් ණයක් ගන්නේ තම සැමියාගේ ජීවිතය ගලවා ගැනීම පිණිසය . එය කෙතරම් මානුෂීයද....... !

නෝරාගේ චරිතය යනු මෙම නාට්‍යයේ තිබෙන ප්‍රාණීයම චරිතයයි .ඒ වාගේම ඉක්මන් හැඟීම් ජාලාවක එක විට දෝලනය වන චරිතයකි .තම රහස පිටතට නොපෙන්නවා තමන් තුලම අරගලයක යෙදෙන ගැහැනියකි .එවැනි ගැහැනියකගේ ස්වාභාවය කෙලෙසද ..... ඇයගේ හැගීම් ජාලාව කෙසේ විය යුතුද .... මෙය මැනවින් නාට්‍ය කරුවා තේරුම් ගෙන තිබෙන බව කීම සාවධ්‍ය නොවේ .ප්‍රධාන වශයෙන් මෙම නෝරා කියන චරිතය තුල ප්‍රාථමික ලක්ෂණ පවතියි . ඇතැම් විට නෝරා උඩ පැන අත්පුඩි ගසන්නේඑම ලක්ෂණ මතුවන විටය .එවැනි අවස්ථා බොහොමයක් මෙම නාට්‍ය තුල පවතියි .එය නියමාකාරයට ජගත් බන්ඩාරයන් වටහාගෙන නිර්මාණය කර තිබුණි.

මෙම නාට්‍යයේ ක්‍රොග්ස්ටඩ්ගේ චරිතය යනු තමන් උදෙසාම වැඩ කරන තමන් වෙනුවෙන් අරගල කරන පුද්ගල චරිතයයි .ඔහුව හෙල්මර් විසින් කන්තෝරුවෙන් අස්කරන්නට පටන් ගන්නා දින සිටම , නෝරා තමන් සමග කළ රහස් ගණුදෙනුවට අදාල ලියවිල්ල තම ආයුධය බවට පත් කරගනියි .ඔහු මෙම ලියවිල්ල සමග නෝරාව හිර කරන්නේ තම රස්සාව වෙනුවෙනි .බිරිඳගේ හැරයාමත් සමග ඔහු ඇද වැටී තිබුණු ජරා ජීර්ණ අවදියෙන් ගොඩ ඒමට පණ කෙන්ද වගේ ඔහු සටන් කරයි .මේ කියන්නා වූ අරගල ඔහු තුල ගොඩනැගෙන ආකාරය මනාවට ප්‍රේක්ෂකයාට ගෙන ඒම අධ්‍යක්ෂකවරයාගේ වගකීමකි . නෝරාගේ සියලුම රංගයන් ප්‍රේක්ෂකාගාරය වෙත ගලා යන්නට පටන් ගන්නේ මෙම චරිතයේ පවතින වර්ණයත් සමගය . එය මහා භාරදූර කාර්යයකි. එයද නාට්‍ය කරුවා ජයගෙන තිබෙන බව කිවයුතු අතර ක්‍රොග්ස්ට්ඩ්ගේ සංවාද ගලනය තාවත් වේගවත් වූයේනම් මැනවි යැයි මට සිතේ .එසේ නොවන විට නෝරාගේ චරිතයේ වර්ණය ඉදිරියට කැපී නොපෙනෙයි . ඒ වාගෙම මාගේ විචක්ෂණයට නතු වූ තවද කාරණාවක් වන්නේ නෝරාගේ චරිතය තුලට එම සම්පත් දායිකාව දුන් බර තව තවත් වැඩි විය උතු බවයි . ඒ චරිතයේ හැගීම් අපගේ හදවතට නොදැනුණු බවක් හැඟුණි . නමුත් සාධාරණයක් කිරීමට ඇය උත්සහ දැරූ බව කිව යුතුය .

අධ්‍යක්ෂණය මත මැනවින් පෝෂණය වී තිබූ චරිත ද්විත්වය ලෙස ලින්ඩේගේ චරිතය හා ඩොක්ට රෑන්ක්ගේ චරිතය ගැනීමට පුළුවන .ලින්ඩේ යනු ජීවිතය වටහා ගත් ගැහැණියකි .ජීවිතයේ දුක් කම් කටොළු විඳ දරා සිට තිබෙන ගැහැණියකි . ඇයගෙ ස්වරය තුල ඒ සෑම දෙයම ගැබ්ව පවතියි .එය එම චරිතයට පණ පෙවූ සම්පත් දායිකාව මැනවින් සාධාරණලෙස චරිතයට ඉටුකළ බව පෙනිණ .

ඒ වාගේම රෑන්ක්ගේ චරිතය යනු මරණය දකිමින් ජීවත් වන මිනිසෙකි . ඔහු නෝරාට ආදරය කරයි . මරණය තෙක්ම සිත තුල පැසවමින් තබා ගෙනසිටි ඔහු එය අවසාන් බිඳ වැටීමට පෙර ඇයට ප්‍රකාශ කරයි . ඔහු තුල මේ ආකාරයෙන් ගොඩ නැගෙන සිද්ධි දාමය තුල අධ්‍යක්ෂක වරයා ඊට අදාල නියම මග පෙන්වීම කර තිබේ . නාට්‍යය තුල සිටින පහලම ස්වර ලාභියා එම චරිතයයි . ඒ එම චරිතයට අදාල වර්ණයයි . එය අධ්‍යක්ෂක වරයා මෙන්ම් නළුවාගෙද කැපවීම තුල වේදිකාව මත සාර්ථකව අපට දැක ගැනීමට හැකි විය .

නාට්‍යයේ මුල සිටම ටෝවල්ඩ් නෝරාට ආමන්ත්‍රණය කරන්නේ " මගේ පුංචි ගී කිරිල්ලි , හා පැටික්කි , බෝනික්කි ලෙසය .නමුත් ඔහුගේ ජීවිතය වෙනුවෙන් ඇය ගත් ණය පත්‍රිකාව දුටු පසු ඇයව කාලකණ්ණි ගැහැණියක් බවට පත් වෙයි .තකතීරු ගෑණියක් වෙයි .ඇයට සිය දරුවන් පවා හැදීම තහනම් කරයි .නෝරාට ටෝවල්ඩ්ව තේරුම් ගැනීමට පටන් ගැනෙන්නේ මෙතැන් සිටය . ක්‍රොග්ස්ට්ඩ් නැවත එම රහස එලි නොකරන බවට ලියුමක් එවූ විත ඔහුට නැවතත් ඇය කලින් සිටි බෝනික්කියම වෙයි .නමුත් ඇයව වටහා නොගන්නා ටෝවල්ඩ්ව ඇය වටහා ගනියි .ඔවුන් දෙදෙනා ජීවිතයේ පලමු වතාවට ආලින්දයේ මේසය මත එකට ඉඳගෙන මිනිහා හා ගැහැනිය විදිහට මේ අරගලය සාක්ච්ඡා කරයි .නෝරා ඔහුව වටහා ගෙන හමාරය .ඇය සොයන පිරිමියා මොහු නොවන බව වැටහුණු විට ඇය නියම ජීවිතය සොයාගෙන නිවස අතහැර දමා පිටව යයි .

බෝනිකි ගෙදර නාට්‍යයේ අන්තර්ගතය තුල කාන්තා විමුක්තිය පිළිබඳව කතා කෙරෙන බව හුදෙක් පවසන්නේ මෙම නෝරාගේ පිට වීම හරහාය .නමුත් එතන විග්‍රහ කෙරෙන්නේ ඔවුනොවුන් තුල පවතින් වැටහීම යන කාරණාව බව පැහැද්ලිය .කෙසේ වුවද මෙම නාට්‍ය තුල මෙවැනි වෙන් වූ ජීවිත දෙකක එක් වීමද සිදුවෙයි .නෝරාගේ හ ටෝවල්ඩ්ගේ විවාහය දෙදරා යන මේසය මතදීම ලින්ඩේගේ හා ක්‍රොග්ස්ට්ඩ්ගේ විවාහය නැවතත් එකතු වෙයි .ඒ ඔවුන් දෙදෙනගේ වැටහීම යන කාරණාව පාදක කොත ගනිමිණි .

සමස්ථයක් ලෙස මෙම නව නිෂ්පාදනය තුල නාට්‍ය සංගීතය හා වෙස් මෝස්තර ඇඳුම් නිරමාණය ඉතා ඉහළ තලයක තිබුණු බව කීව යුතුය .අනෙකුත් ආන්ශාංගිකයන්ද ඒ ආකාරයෙන්ම් නාට්‍යයේ ගලා යාමට රිසි ලෙස කළමණාකරණය වී තිබුණු බව අපට පැහැදිලි විය .

මේ ආකාරයට බලන විට ලාංකේය වේදිකාව මත සාපේක්ෂ වශයෙන් ඉබ්සන්ව නිරූපණය වූ බව කිව හැකිය . ඒ සඳහා අධ්‍යක්ෂවරයාගේ සිට විශාල කාර්යය හාර්යයක් සිදු වී තිබුණි .නූතන වේදිකාව මත රසය විඳින්නට හැකි උසස් කලා නිර්මාණයක් ජගත් බණ්ඩාරයන්ගේ දැක්ම තුල නිර්මාණය වී තිබූ බව ප්‍රශංසනීයව කීමට පුළුවන .

2 comments:

ර ත් ග ම යා said...

එල...පට්ටයි කියපු විදිහට සහෝ

anil said...

හොද නිර්මාණයක් වගේ බලන්න බැරි වීම ගැන කණගටුයි.