ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

10/3/10

" බෝනිකි ගෙදර " වේදිකා නාට්‍යය පිළිබඳව සහෘද විමංසාව



ජීවිතය තුල ඇති වන්නා වූ ගැටළු ජීවිතය තව තවත් ජීවත් කරවයි .එම ගැටලුව මිනිසුන් අතරම පැන නැගී මිනිසා සමගම පෝෂණය වී මිනිසා අතරම පුපුරා යයි .ඒ තුලින් ඇති වන්නා වූ කම්පනය ඒ ඒ පුද්ගලයාට බලපාන්නේ ඒ වට ඔවුන් හට තිබෙන සම්බන්ධතාවය අනුවයි . ලෝකයේ කලාව යන්නද ගොඩ නැගෙන්නේ මේ කියන්නා වු මිනිස් කුලකය තුලමය .නමුත් මෙලෙස ගොඩනැගෙන්නා වූ කලාව තුලින් නාට්‍ය කලාව හුදෙක් මිනිසා සමගම ගැටෙමින් පෝෂණය වූවකි .මේ ආකාරයට පෝෂණය වන්නා වූ නාට්‍ය තුල මිනිසා හ මිනිසාගේ ජීවන වෑයම හෙලිදරව් කෙරෙන කලා කෘතීන් සම්භාව්‍ය යන්නාවූ සිද්ධාන්තය තුලට පිවිසෙයි .අප ජීවත් වන ලෝකය තුල අපට දැනෙන අප දකින් ජීවන යථාර්තය මෙම කෘතීන් තුල නිර්මානය වී තිබෙයි . මෙලෙස නිර්මානය වූ නාට්‍ය අතුරින් ලෝක ධර්මතාවය වේදිකාවට ගෙන ආ නාට්‍ය කරුවකු වන නෝවේජියානු ජාතික හෙන් රික් ඉබ්සන්ගේ බෝනිකි ගෙදර නම් වූ සම්භව්‍ය මා කලා නිර්මණය තුන් කල් සංස්පර්ෂණය කළ නාට්‍ය නිර්මාණයක් ලෙස දැක්වීමට කැමැත්තෙමු .

ලෝකයේ වේදිකාවට ගෙන ඒමට අපහසුම නාට්‍ය කරුවන් වේනම් ඒ අතර ඉහලින්ම සිටින්නේ ඉබ්සන් යැයි කීමට පුළුවන .ඔහු තම නාට්‍ය තුල පෝෂණය කරනු ලැබුවේ මිනිසා අතරම ඇති අරගලයන්ය .සමාජය තුල සම කාලීනව තිබූ සිදුරුය .මේ ඔස්සේ යමින් එකල සමාජ වපසරිය තුල ඔහු දුටු කාන්තාව හා සමාජය යන කාරණාව වැඩිපුර තම තේමා කර ගැනීමට උනන්දු වී ඇති බව කීමට පුළුවන . නමුත් ඔහු කාන්තාවගේ විමුක්ති දායකයා ලෙස කටයුතු නොකළ බව් අකිව යුතුය . නමුත් බොහො සමකාලීනයන් ඔහුව දුටුවේ එලෙසටය . ප්‍රධාන වශයෙන් මෙම බොනිකි ගෙදර නාට්‍ය තුලින් එය එලෙස මතු වන බව ඔවුහු දැක්වූහ .බෝනිකි ගෙදර නාට්‍යයේ නෝරා තම නිවස අතහැර යාම ඔවුහු අර්ථ කථනය කර දැක්වූයේ පිරිමියා අතහැර තම විමුක්තිය වෙනුවෙන් සටන් වදින ගැහැණිය ලෙසටය .නමුත් ඉබ්සන් සිය නාට්‍ය පුරාවටම අර්ථ දැක්වීමට උතසහ දරන්නේ විමුක්ති ධර ගැහැණිය නොව එකිනෙකාව වටහා ගැනීම යන කාරණාවයි .

ශ්‍රී ලංකාව තුල අද වන විට මෙම නාට්‍යය සිව් වතාවක් පමාණ නිෂ්පාදනය විය . නමුත් මේ කියන්නාවු වැටහීම යන සිද්ධානිත ඒවා තුල කෙතරම් දුරට ගොද නගමින් ඒ ඒ චරිත වලට සාධාරණයක් වුනාද යන්න ගැටළුවකි . එලෙස ප්‍රශ්නාර්ථයන් ඉතිරිව තිබියදී මෑතක නිෂ්පාදන්ය වූ බෝනිකි ගෙදර නාට්‍ය කෙතරම් දුරට මෙම අභියෝගය භාර ගත්තාද යන්න් විමසීම වටිනේය .

පළමු වශයෙන් මෙහි පෙළ අධ්‍යයනය කරන්නෙකුට වැටහෙන පලමු කාරනාව වන්නේ මේ තුල ඉබ්සන් යොදාගෙන තිබෙන්නේ ස්ටැනිස්ට් ලාවුස්කිගේ රංගන විධික්‍රමය යන්න බවයි .නාට්‍ය තුල ඒ ඒ චරිත විග්‍රහ කිරීමත පහසු මෙන්ම යෝග්‍යම වන්නේ එයයි . පැසසුම් සහගතව පළමුව මේ කියන්නා වු ක්‍රමය මෙම නාට්‍ය තුල සාර්ථකව යොධාගෙන තිබුනු බව ජගත් බණ්ඩාරයන්ගේ අධ්‍යක්ෂණයක් ලෙස වේදිකා ගත වූ බෝනිකි ගෙදර නට්‍යයෙන් හෙලිදරවි විය . එයින් නාට්‍යයේ මූලික පදනම ඔහු විසින් හදුනාගෙන තිබෙන බව කිය හැකිය .

නෝරා යනු මෙම නාට්‍යයේ අර්ථකතනයට අනුව බෝනික්කියයි .තම පියා තුරුලේහි හුරතල් වන ඇය ටෝවල්ගේ හුරතල් බට්ටිච්චි ලෙස , ගී කිරිල්ලි ලෙස නැතිනම් හා පැටික්කි ලෙස ඔහුගේ සෙවනට එයි .සම්කාලින සමාජයට අනුව ඇයටද වූයේ සැමියාගේ සෙවන මත ඔහුට රිසිසේ ඔහුට හුරතල් වෙමින් සිටීම පමණි . ඇයගේ කාර්යය දරුවන් සමග ගෙවන ජීවිතය පමණි .නමුත් ඇය අන් අයතරම් බොළඳ නැත .ඇය නිසැකයෙන්ම ශක්තිමත් ගැහැනියකි .

ගැහැණියකටතම විවාහයෙන් පසු ජීවන රුකුල වන්නේ තම සැමියාය .ඇය හා සැමියා අතර හටගන්නේ ආත්මගත බැඳීමකි .ආසියාවේ සැමියා මැරුණු ගැහැනිය වැන්දඹුවයි .නැතිනම් පව්ගෙවිය යුතු පව්කාරියකි .නැතිනම් අන් පිරිමින්ගේ සුව යහන මත නිදන වෛශ්‍යවකි .මෙන්න මේ කියන්න වූ ප්‍රස්තුතයන් ගොඩ නැගීමට පෙර තම සැමියා සුරක්ෂිත කර ගැනීම නියම බිරියකගේ වගකීම වෙයි .මෙලෙස ආසියාව තුල පමණක් නොව ලොව ඕනෑම ගැහැනියක තම සැමියා මරණ මංචකයේ සිටිනු දැකීමට කිසිදා නොපතයි .බෝනිකි ගෙදර නාට්‍යයේද නෝරා ක්‍රියා කරන්නේ මේ කියන්නා වු පොදු ගැහැණියගේ භූමිකාවට අනුවය .ක්‍රොග්ස්ටඩ්ගෙන් තම සැමියට හොරෙන් ණයක් ගන්නේ තම සැමියාගේ ජීවිතය ගලවා ගැනීම පිණිසය . එය කෙතරම් මානුෂීයද....... !

නෝරාගේ චරිතය යනු මෙම නාට්‍යයේ තිබෙන ප්‍රාණීයම චරිතයයි .ඒ වාගේම ඉක්මන් හැඟීම් ජාලාවක එක විට දෝලනය වන චරිතයකි .තම රහස පිටතට නොපෙන්නවා තමන් තුලම අරගලයක යෙදෙන ගැහැනියකි .එවැනි ගැහැනියකගේ ස්වාභාවය කෙලෙසද ..... ඇයගේ හැගීම් ජාලාව කෙසේ විය යුතුද .... මෙය මැනවින් නාට්‍ය කරුවා තේරුම් ගෙන තිබෙන බව කීම සාවධ්‍ය නොවේ .ප්‍රධාන වශයෙන් මෙම නෝරා කියන චරිතය තුල ප්‍රාථමික ලක්ෂණ පවතියි . ඇතැම් විට නෝරා උඩ පැන අත්පුඩි ගසන්නේඑම ලක්ෂණ මතුවන විටය .එවැනි අවස්ථා බොහොමයක් මෙම නාට්‍ය තුල පවතියි .එය නියමාකාරයට ජගත් බන්ඩාරයන් වටහාගෙන නිර්මාණය කර තිබුණි.

මෙම නාට්‍යයේ ක්‍රොග්ස්ටඩ්ගේ චරිතය යනු තමන් උදෙසාම වැඩ කරන තමන් වෙනුවෙන් අරගල කරන පුද්ගල චරිතයයි .ඔහුව හෙල්මර් විසින් කන්තෝරුවෙන් අස්කරන්නට පටන් ගන්නා දින සිටම , නෝරා තමන් සමග කළ රහස් ගණුදෙනුවට අදාල ලියවිල්ල තම ආයුධය බවට පත් කරගනියි .ඔහු මෙම ලියවිල්ල සමග නෝරාව හිර කරන්නේ තම රස්සාව වෙනුවෙනි .බිරිඳගේ හැරයාමත් සමග ඔහු ඇද වැටී තිබුණු ජරා ජීර්ණ අවදියෙන් ගොඩ ඒමට පණ කෙන්ද වගේ ඔහු සටන් කරයි .මේ කියන්නා වූ අරගල ඔහු තුල ගොඩනැගෙන ආකාරය මනාවට ප්‍රේක්ෂකයාට ගෙන ඒම අධ්‍යක්ෂකවරයාගේ වගකීමකි . නෝරාගේ සියලුම රංගයන් ප්‍රේක්ෂකාගාරය වෙත ගලා යන්නට පටන් ගන්නේ මෙම චරිතයේ පවතින වර්ණයත් සමගය . එය මහා භාරදූර කාර්යයකි. එයද නාට්‍ය කරුවා ජයගෙන තිබෙන බව කිවයුතු අතර ක්‍රොග්ස්ට්ඩ්ගේ සංවාද ගලනය තාවත් වේගවත් වූයේනම් මැනවි යැයි මට සිතේ .එසේ නොවන විට නෝරාගේ චරිතයේ වර්ණය ඉදිරියට කැපී නොපෙනෙයි . ඒ වාගෙම මාගේ විචක්ෂණයට නතු වූ තවද කාරණාවක් වන්නේ නෝරාගේ චරිතය තුලට එම සම්පත් දායිකාව දුන් බර තව තවත් වැඩි විය උතු බවයි . ඒ චරිතයේ හැගීම් අපගේ හදවතට නොදැනුණු බවක් හැඟුණි . නමුත් සාධාරණයක් කිරීමට ඇය උත්සහ දැරූ බව කිව යුතුය .

අධ්‍යක්ෂණය මත මැනවින් පෝෂණය වී තිබූ චරිත ද්විත්වය ලෙස ලින්ඩේගේ චරිතය හා ඩොක්ට රෑන්ක්ගේ චරිතය ගැනීමට පුළුවන .ලින්ඩේ යනු ජීවිතය වටහා ගත් ගැහැණියකි .ජීවිතයේ දුක් කම් කටොළු විඳ දරා සිට තිබෙන ගැහැණියකි . ඇයගෙ ස්වරය තුල ඒ සෑම දෙයම ගැබ්ව පවතියි .එය එම චරිතයට පණ පෙවූ සම්පත් දායිකාව මැනවින් සාධාරණලෙස චරිතයට ඉටුකළ බව පෙනිණ .

ඒ වාගේම රෑන්ක්ගේ චරිතය යනු මරණය දකිමින් ජීවත් වන මිනිසෙකි . ඔහු නෝරාට ආදරය කරයි . මරණය තෙක්ම සිත තුල පැසවමින් තබා ගෙනසිටි ඔහු එය අවසාන් බිඳ වැටීමට පෙර ඇයට ප්‍රකාශ කරයි . ඔහු තුල මේ ආකාරයෙන් ගොඩ නැගෙන සිද්ධි දාමය තුල අධ්‍යක්ෂක වරයා ඊට අදාල නියම මග පෙන්වීම කර තිබේ . නාට්‍යය තුල සිටින පහලම ස්වර ලාභියා එම චරිතයයි . ඒ එම චරිතයට අදාල වර්ණයයි . එය අධ්‍යක්ෂක වරයා මෙන්ම් නළුවාගෙද කැපවීම තුල වේදිකාව මත සාර්ථකව අපට දැක ගැනීමට හැකි විය .

නාට්‍යයේ මුල සිටම ටෝවල්ඩ් නෝරාට ආමන්ත්‍රණය කරන්නේ " මගේ පුංචි ගී කිරිල්ලි , හා පැටික්කි , බෝනික්කි ලෙසය .නමුත් ඔහුගේ ජීවිතය වෙනුවෙන් ඇය ගත් ණය පත්‍රිකාව දුටු පසු ඇයව කාලකණ්ණි ගැහැණියක් බවට පත් වෙයි .තකතීරු ගෑණියක් වෙයි .ඇයට සිය දරුවන් පවා හැදීම තහනම් කරයි .නෝරාට ටෝවල්ඩ්ව තේරුම් ගැනීමට පටන් ගැනෙන්නේ මෙතැන් සිටය . ක්‍රොග්ස්ට්ඩ් නැවත එම රහස එලි නොකරන බවට ලියුමක් එවූ විත ඔහුට නැවතත් ඇය කලින් සිටි බෝනික්කියම වෙයි .නමුත් ඇයව වටහා නොගන්නා ටෝවල්ඩ්ව ඇය වටහා ගනියි .ඔවුන් දෙදෙනා ජීවිතයේ පලමු වතාවට ආලින්දයේ මේසය මත එකට ඉඳගෙන මිනිහා හා ගැහැනිය විදිහට මේ අරගලය සාක්ච්ඡා කරයි .නෝරා ඔහුව වටහා ගෙන හමාරය .ඇය සොයන පිරිමියා මොහු නොවන බව වැටහුණු විට ඇය නියම ජීවිතය සොයාගෙන නිවස අතහැර දමා පිටව යයි .

බෝනිකි ගෙදර නාට්‍යයේ අන්තර්ගතය තුල කාන්තා විමුක්තිය පිළිබඳව කතා කෙරෙන බව හුදෙක් පවසන්නේ මෙම නෝරාගේ පිට වීම හරහාය .නමුත් එතන විග්‍රහ කෙරෙන්නේ ඔවුනොවුන් තුල පවතින් වැටහීම යන කාරණාව බව පැහැද්ලිය .කෙසේ වුවද මෙම නාට්‍ය තුල මෙවැනි වෙන් වූ ජීවිත දෙකක එක් වීමද සිදුවෙයි .නෝරාගේ හ ටෝවල්ඩ්ගේ විවාහය දෙදරා යන මේසය මතදීම ලින්ඩේගේ හා ක්‍රොග්ස්ට්ඩ්ගේ විවාහය නැවතත් එකතු වෙයි .ඒ ඔවුන් දෙදෙනගේ වැටහීම යන කාරණාව පාදක කොත ගනිමිණි .

සමස්ථයක් ලෙස මෙම නව නිෂ්පාදනය තුල නාට්‍ය සංගීතය හා වෙස් මෝස්තර ඇඳුම් නිරමාණය ඉතා ඉහළ තලයක තිබුණු බව කීව යුතුය .අනෙකුත් ආන්ශාංගිකයන්ද ඒ ආකාරයෙන්ම් නාට්‍යයේ ගලා යාමට රිසි ලෙස කළමණාකරණය වී තිබුණු බව අපට පැහැදිලි විය .

මේ ආකාරයට බලන විට ලාංකේය වේදිකාව මත සාපේක්ෂ වශයෙන් ඉබ්සන්ව නිරූපණය වූ බව කිව හැකිය . ඒ සඳහා අධ්‍යක්ෂවරයාගේ සිට විශාල කාර්යය හාර්යයක් සිදු වී තිබුණි .නූතන වේදිකාව මත රසය විඳින්නට හැකි උසස් කලා නිර්මාණයක් ජගත් බණ්ඩාරයන්ගේ දැක්ම තුල නිර්මාණය වී තිබූ බව ප්‍රශංසනීයව කීමට පුළුවන .

10/2/10

එදත් අද වගේ දවසක්....... ! ( 4 වන කොටස )


පාසල් ගවුමක් ඇඳගත් කෙනෙකු මා හට ඈතින් එනු පෙනෙයි .ඔව්..... ඒ ඇය යයි මා සිත විශ්වාස කරයි .කෙමෙන් ඈ බස් රථය දෙසට ඇදින .මා තුල ඇය ඉදිරියට වී මුහුණ දීමට ධෛර්යයක් නැතිදෝ හෙයින් මා ඇය බව හඳුනා ගත් සැනින් ඒ අසල වූ ටිකට් පත් කුටියට මුවා වුයේ මා ඇය එනතුරු බලා සිටියේ යැයි ඇයට නොදැනීම පිණිසය .

ඇය බස‍යට නැග වාඩි වූයේ කවුළුව අසලමය .මා ටික වේලාවක් එතනට වී බලා සිට ඇයට නොපෙනෙන සේ බසයේ ඉදිරි දොරටුවෙන් බසයට නැංගේය .පසුව මා ඇයව හදිසියේ දැක්කා සේ ඇය ලගින්ම වාඩි විය .මා පිළිබඳව කිසිඳු චකිතයකුදු නොමැති වූ ඇය මා සදාදර ලීලාවෙන් පිළිගත් බව මතකය .

" ගුඩ් මෝනින් " මා ඇයව පිළිගත්තේ ය .

" ගුඩ් මෝනින් " ඇයගේ මුවින් පිට විය .

ම ඇය වෙනුවෙන් එකතු කොට මාගේ නිසදැස් එකතුව බෑගය තුල තාමත් තෙරපෙයි . ඇය මාගෙන් එය ඉල්ලාවිදෝ කියා මා තුල නොඉවිසිල්ලක් මතුවෙයි .

" ඔයා ගෙනාවද මම ඊයේ කියපු දේ......."

" මොනවද.... ? නිසදැස් පොතද ...... " ඇය මා දෙස බලා එය යැයි අනුමත කලේ ය .

" ඔව් . මෙන්න ." මා ඇයට මා ගෙනා පොත අතට දුන්නේය .

" අම්මෝ .... මෙච්චර ගොඩක් . මම මෙච්චර ඒව ගේන්න කිව්වෙ නැහැනෙ . කොහොමත් මට මේ ඔක්කොම නම් කියවන්න බැරි වේවි . "

" කමක් නැහැ..... ඔයා ඒක කියවල ගෙනත් දෙන්න "

" ඒ උනාට........ "

" කමක් නැහැ .ඔය ඒ ගැන හිතන්න එපා . මට ඕක පස්සෙ දවසක් ගන්න පුළුවන්නෙ ..... "

ඇය සිනාවක් පාමින් මාගේ නිසදැස් කියවන්නට විය .ඒ සමගම නිහඩ තාවය රජ කරන්නට විය . මේ නිහඩතාවය මාගේ නිසදැස් පොත නිසාය . මා තුල දැන් ඇය වෙත ගෙනා පොත පිලිබඳව වෛරයක් ඇති වෙයි .එය මා හා ඇය අතරට ආ බාධාවක් යැයි මට දැන් හැඟේ .

මා හට තවත් ඒ නිහඩ බව ඉවසීමට නොහැක .මා විසින්ම ඒ නිහද බව බිඳිණ .

" ඔයා මේ ළඟ නේද ඉන්නෙ ....."

" මේ දැන් ඉන්නෙ ඔයා ලඟ" ඇය මාගේ කීම විහ්ළුවකට පත් කලේය .

" නැහැ මම ඇහුවෙ ඔයාගෙ ගෙවල් ගැන ..... "

" ඇයි ඔයා එහෙම අහන්නෙ.... ? '

" නැහැ ... මම දැක්කා ඔයා අර පැත්තෙ ඉදන් එනවා ."

ඇයගේ මුවගට සිනාවක් ඇතිවිය .එකෙනෙහිම ඈ මාගේ නිසදැසක් කියවමින් .......

" ඔය්ය ඇයි මම එනකන් බලන් හිටියෙ... " ඇය එය අසුවේ උපහාසයෙනි .

නමුත් මගේ මුවින් එය පිටවී හමාරය .මා හට මද ලැජ්ජාවක් වැනි හැඟීමක් ඇති වුවද මා එය යටපත් කර ගනිමින් ඇය හා කතා කලේය .

" එහෙම නෙමෙයි .මම එනකොට දැක්කා ඔයත් අර පැත්තෙ ඉදන් එනවා . ඒකයි . "

" එහෙමද ......" ඇය කවියක් කියවමින් පිළිතුරු දුන්නේය.

' හ්ම් " මාද ඊට ප්‍රතිචාර දැක්වීය .

නැවතත් නිහ්ඩ බව අපි අතරට ආවද එය බිඳ දමමින් බස් රථය ගමන් ආරම්භ කෙරිණ . ඒ සමගම ඇය මා වෙත හැරී මා ලියූ කවියක් පෙන්වීය .

" මේ .. මෙන්න මෙතන මේ අකුර වැරදියි නේද... ?"

: අහ්... ඔව් .මේකයි .... හදිස්සියට ලියන ඒවනෙ .ඒකයි ."

" අත්තටම මම මෙවට ගොඩක් කැමතියි . මම මේ ඇත්තමයි කියන්නෙ . ඔයා කවද හරි හොඳ කලා කාරයෙක් වේවි ."

ඇය මා ලියූ නිසදැස් ප්‍රශංසාවට ලක් කළේය්ය .මා හට එය මා ජීවිතයේ ලබපු ප්‍රශංසනීයම වචන කීපය බවට පත් විය .නමුත් එය මා අයගේ මුවින් ඇසූ අන්තිම වචන කීපය යැයි මා හට දැනිණ .


9/16/10

මා සිත ඇය අයිති කරගෙන .......... !


පුදුමාකාර හැඟීමක්
මා හට පමණක් අයිති වූ
මුළු හදවතම
ඇය අයිති කරගෙන
කොයිබදෝ අතරමං කොට
මා හටත් සොයාගත නොහැකි
අනන්තයටත් එහා දිවගිය
ආදරය පමණක් බුදින
ආදරය පමනක්ම පානය කරන ...................!

සිත තුල තිබූ
ලස්සන යැයි සිතුන
මාවත් නොදුටු ලස්සන හැමදේම
ඒ ලොව අහස සේ
වියන් ගත වී මා හිසට ඉහලින් ..................!
එයම පමණයි
ඒ ලොව පොලෝ තලයත්
අහස තෙක් නැගි
නීල තලයත් ..................!

පෙනෙන්නට ඇති සියලු දේ තුල
දකින්නට බැරි
ගැඹුරුම අනන්තය තුල
කඳුල සිනහව සිර කොට
හැඟීමක් නැති
ගන්දබ්භ දසුනක ..................!

අතරමං කර
කිසිදා හුදෙකලා නොවූ
මාගේ අහිංසක හදවත
මා හටම පෙන්වයි
පණ ගැහෙන මාගේම හදවත
ඒ තුලත් ඇයම පමණක්
චිත්‍රනය කොට ............................!

නොදනිමි
කුමක්දැයි මේ වෙනස .

මා සිත ඇය අයිති කරගෙන .
මා මුළු ගතම පරඩැලක් සේ
නිර්වින්දනය කොට ...................... !

එදත් අද වගේ දවසක්....... ! ( 3 වන කොටස )


බස් රථය වේගයෙන් ටව්න් හෝල් වෙනතෙක් වේගයෙන් ගමන් කෙරිණ .එතෙක් මා හා ඇය දොඩමළු නොවූවද මා මාගේ සිත තුලින් ඒ වන තුරුත් ඈ හා දොඩමළු වෙමින් සිටියේය .ඒ නිහඬ බව බිඳින . ඒ ඇයගේම ස්වරයෙනි .

" ඔයා ආනන්දෙට නේද යන්නෙ ......... "

" ඔව් . ඔයා කොහොමද දන්නෙ ... "

ඇය සිනාසිණි . " නැහැ . තාත්තත් එක්ක වෑන් එකේ යනකොට මම ඔයාව දවසක් ආනන්දෙ ගාවදි දැක්ක .ඒකයි ...."

මා තුලින් සිනාවක් පැන නැගිනි .

" ඇයි ඔයා හිනාවෙන්නෙ.. " ඈද සිනාසිණි .

" නැහැ ..... ඔයා ඒලවල්ද කරන්නෙ ...."

" ඔව් . බයෝ සයන්ස් .... ඔයා .. "

" මම ආට්ස් කරන්නෙ .. "

" ෂෝක්නෙ . මම මාර ආසයි . මමත් ආට්ස් වලට මාර ආසයි . නිසදැස් එහෙම ලියන්න . ඔයා දන්නවද නිසදැස් ලියන්න .. .. "

" ඔව් "

මා හට ඊලඟ නැවතුමෙන් ඇයගෙන් වෙන්වීමට සිදුව තිබිණි .මා ඊට සැරසුණේය .

" මම ගාමිණී හෝල් බහිනවා . මම ආයිත් දවසක මම ලියපුවා ගේන්නම් . "

ඇය මා දෙස බලා සිනාසිණි .ඇයගේ මුවින් බුදු සරණයි කියමින් මා හට ඇය සමුදෙන්නට විය .

" බුදු සරණයි ."මා මුවින්ද පිට වීය .

බසයෙන් බැසි මා නැවත ඇය දෙස බලා සිනාසුණේය .ඇයද මා දෙස බලා සිනාසුණි .

ඒ දවස මා හට හරියටම මතක නම් මා මෙහි ලිවීමට අපොහොසත් නොවනු ඇත .නමුත් මා එදා මා වෙනුවෙන් ගත් බස් ටිකට් පත දැනුදු මාගේ පර්ස් එක තුල තෙරපෙමින් තිබේ . රුපියල් 22 .00 ක ටිකට් පත . එය තවමත් අවුරුදු 3ක සිට මා සතුව ඇත . ඒ ඇය මා සමග පළමුවෙන්ම කතා කළ දවස සිහි වීම වෙනුවෙනි .

කෙනෙකු තවකෙකු හට ආදරය කිරීමට යම් යම් හේතූන් තිබීමට පුළුවන් වූ නමුත් මා ඇයට ආදරය කරන්නේ ඇයිදැයි මා තවම නොදනිමි .සමහරක් විට ඇයගේ හිනාවට මා දැන් පෙම් කරනවා ඇත .නැතිනම් ඇයගේ ඇස් දෙකට . එසේත් නැතිනම් ඇයගේ මුළු හදවතටම . දැන් මා ඇය වෙනුවෙන් ගී පබදින්නට වෑයම් කරයි . මේසයක් මත නැතිනම් මාගේම අත්ල මත . පංති කාමරය තුල ලියූ හැම වචනයකම අර්ථය ඇය බවට පත් වී හමාරය .නමුත් ඒ ආදරය ඇයට තවමත් නොහැගේ . මන්ද යත් .. මේය තවමත් මා සිත තුලම පොර බදන , සිතින් කරනා ආදරයක් පමණක් වන හෙයිණි .

දවස පෙරසේම අනතය තෙක් ගෙවීයයි . සිතෙහි එක කොනක නිධන් ගත වූ ඇයගේ රූපයද තුරුලු කොට මා නින්දට ගියේ සියලුම පාඩම් කටයුතු හමාර කොටය .

පාන්දර 5 . 30 යි . මා සුපුරුදු බස් රථයට ගොඩවිය .ඇය තවමත් නොමැත . මාගේ අත තුරුල් කොත ගෙන සිටින්නේ ඇය වෙනුවෙන් මා සකස් කළ මාගේ නිසදැස් පොතයි . කාමරය පුරා තැන් තැන් වල විසිර තිබූ පද වැල් ඇය වෙනුවෙන් එකට එකතු විය . ඒ එක පැයක් තුලදීය . ඇය තවමත් නොමැත . මා බසයෙන් බැස ඈත බලා සිටියත් ඇයගේ සේයාවක්දු දක්නට නොමැත්තේය . නමුත් ඇය පිලිබඳව යම් හැඟීමක් මා සිත තුල පොර බදයි .ඒ විශ්වාසය හා චකිතය අතර තනි වු ගන්ධබ්භ හැගීමකැයි මට සිතේ . ( මතු සම්බන්ධයි . )


9/13/10


මාගේ දෙසවන් තුල ඇයගේ මුවින් පිටවූ ඒ වචනය නිදන් ගත වූ සේය . බස් රථය ටවුන් හෝල් දක්වාම ගමන් කෙරිණ .එතෙක් ඇය හා මා එකිනෙකා සමග දොඩමළු නොවූවද , මා මාගේ සිත තුලින් ඈ සමග දොඩමළු නොවූවා නොවෙයි .පිටතින් ඇය හා මා අතර වූ නිහඩ බව බිඳිණ .

" ඔයා ආනන්දෙට නේද යන්නෙ "

" ඔව් , ඔයා කොහොමද දන්නෙ "

ඇයගේ මුවින් සිහින් සිනා රැල්ලක් පිටවිය .

" නැහැ..... මම අපේ තාත්තත් එක්ක වෑන් එකේ එනකොට ඔයාව මම දැකලා තියෙනවා .ඒකයි . "

" ඔයා A/L ද කරන්නෙ ..." මම මද සිනාවක්ද සමගින් ඇසුවේය .

" ඔව් .... බයෝ සයන්ස් .ඔයා... ? "

" මම ආට්ස් කරන්නේ ."

" ෂෝක්නෙ .. මම මාර ආසයි . මට ටිකක් විතර නිසදැස් එහෙම ලියන්නත් පුළුවන් .ඔයාට පුළුවන්ද ලියන්න .. ? "

" ඔව් "

මා හට ඊළඟ නැවතුමෙන් වෙන්වීමට සිදුවෙයි .මා ඊට සැරසිණ .

"මං ගාමිණී හෝල් බහිනවා."

ඇය මා දෙස බලා සිනාසෙන්නට විය. " බුදු සරණයි " .

" බුදු සරණයි " මා මුවින්ද පිටවිය .

ඒ දවස මතකයට එන්නේනම් මා මෙහි ලිවීමට අපොහොසත් නොවනු ඇත .නමුත් මා එදා මා වෙනුවෙන් ගත් බස් ටිකට් පත දැනුදු මාගේ පර්ස් එක තුල තෙරපෙමින් තිබේ . රුපියල් 22 ක ටිකට් පත .එය තවමත් අවුරුදු දෙකහමාරක සිට මා සතුව ඇත .ඒ ඇය මා සමග පළපුවෙන්ම කතා කළ දවස සිහි වීම වෙනුවෙනි .