ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

Showing posts with label දුටු දේ. Show all posts
Showing posts with label දුටු දේ. Show all posts

7/22/14

ඇසිඩ් වැස්සට තෙමුණු මායාට

අන්ධකාරය ගල් තලාව මත මියදෙද්දි තව මොහොතකින් මේ හැමදෙයක්ම ඉවරවෙලා තියේවි.උබටත් මටත් අපි කවුද කියලවත් මතක නැති වේවි. මග තොටදි හම්බ උනත් තුහ් කියලා කෙල ගහන්න උනත් බැරිකමක් නැහැ. ඒ උනාට මමත් දන්නව බන් මේ කාලකන්නි හදවතට උබ මොහොතකට හරි ආදරය කලා කියලා. මම මෙතනින් ගියාට පස්සෙ උබ මගේ හුස්ම එක පොදියට තුරුලු කරගෙන ජනේලෙන් මන් යනකන් බලන් ඉන්නවා . හැබැයි මන් කියන්නෙ ඔන්න ඔය හුස්ම ටික දාපන් ඔය භූමි තෙල් ලිපට පිච්චිලා යන්න . නැහැග..... එපා ..... එතකොට උබ ඔය භූමි තෙල් ලිපෙන් උබටම ගිනි තියා ගනීවි. එතකොට මගේ හුස්ම වල පණ ඇද ඇද ඉන්න උනුහුම ආයිත් සැරයක් උණුහුම් වෙලා උබේ මුළු ශරීරයම වැලඳ ගනිද්දි උඹ ආයිත් සැරයක් වෙදනාවෙන් කෑ ගහන්න පටන් ගනීවි . ගමට බැහැ මිනී මරුවෙක් වෙන්න.... කමක් නැහැ .......උබට කැමති දෙයක් කරපන් .

8/3/13

රෝගියාට පිළිතුරක්

අහංකාර හදවත යට
උනුහුමට ගලා යන 
රුධිරයට
ආලකම් පුරුදු කලේ 
ඔබ .....

කුමක්නම් කරන්නද ...?
සේලයින් කුරක් පමණි ඇත්තේ
ඔබ හට දෙන්න

7/25/13

පා පොඩි පොඩි සරාවයි ..... !



මල් පෙති සිනිදු බව දැන දෝතින්                නොඅල්ලා
දැතට රැගෙන පපු තුරුලේ                         හොවාලා
කටුවෙන් ටිකෙන් ටික ගෙන දිය                 පෙරාලා
සෙනෙහස රැගෙන පුතු නළලත                  තෙමලා 

මුව අඟ පුරා සුරතල් කිරි                           සිනාවයි
දෙපයින් තලන පා පොඩි පොඩි                  සරාවයි
දිය පොඩි තලන පුතු දැතේ                        ලතාවයි
කිරිකැටි පුතුගේ දෙතොලතරේ                   කතාවයි

දේදුන්නෙන් හවඩි වැලක් පුතු ඉන වට         වැටේවි
නෙලුම් මලක සුවද පොදක් පුතු ඇග වට      තෙමාවි
හඳෙන් ගෙනත් කිරි දෝතක් දෙතොලතරට   වැටේවි
පුංචි පුතුට කවි තාලෙට හීන ගොඩක්           පෙනේවී


8/15/12

බුදු සරණයි මහත්තයෝ ... ! ( කෙටි කතාව )


                                                                                                                ගෙවෙන  හැම තප්පරයකම එක එක ගැටළු වලට උත්තර හොය හොය ජීවත් වන අපිට සමාජයේ අපි වගේම ජීවත් වෙන අයගේ හදවත ඇතුලට රිංගලා ඒ හදවත් වල තියෙන දේවල් කියවන්නෙ ඔහෝම කලාතුරකින් . වාසනාවට හෝ අවාසනාවට හෝ වේවා පමණක් දේවල් දිහා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න අහගෙන ඉන්න ශක්තියක් මට ඇතැයි මා සිතමි .


එදා සෙනසුරාදා දවසකි .පුරුදු පරිදි මා පුස්ථකාලයට යෑමට බසයට ගොඩ විය . වට පිට බලා ඉඳ ගැනීමට ආසනයක් සෙවූ මා හට ඉඳ ගැනිමට තවදු බසය තුල ඉතිර්ව තිබුනේ එක් ආසනයක් පමණි .බසයේ ඉදිරිපසම ආසනය වු එහි මා ඉඳ ගත්තේය . මාගේ ආසනයේම ඉඳගෙන සිටියේ තරමක් මැදි වයස ඉක්ම වූ කාන්තාවකි .මදක් අපිලිවෙල ගතියකුදු ඈ තුල තිබුණි .



බසය කොළඹ බලා වේගයෙන් ගමන් ආරම්භ කලේය .බසය ගමන් ගත් වේගය නිසා ඒ තුල සිටි සියල්ලොම මදක් විමසිල්ලෙන් අල්ලාගෙන සිටියේය .එසේ ටික දුරක් ගමන් ගන්නට වූවා පමණි . විශාල හඬක් එක්කම බසය නතර විය .සිදු වූයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි විය .



" හරක් හැපුනට ගානක් නෑනෙ මහත්තයො .පොලිසියෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ . හරක් කොහොමත් ඔහේ පාර පනින්වනෙ . ඔව්ව ඒ මහත්තරු දන්නවා ... "



මාගේ ආසනයේ සිටි ඇය මා දෙස බලා කියන්නට විය . මා ඇය සමග දොඩමළු වීම්ට උතසහ නොගත්තද මා ඇයට සිනහවකින් මාගේ අදහස කීවේය .ටික වේලාවකින් බසය තුල වූ නොසන්සුන් බව හීන වි නැවතත් සුපුරුදු පරිදි බසය ගමන් ආරම්බ කලේය . එතරම් ප්‍රියජනක ස්වරූපයක් ඈ තුල නොවූවද ඇයගේ ඇතැම් ක්‍රියාවන් දෙස මා විමසිල්ලෙන් බලා සිටියේය .

එක් වරම ඈ ඇයගේ ලේන්සුව ගෙන ඒ තුල ගුලි කරගෙන සිටි සල්ලි කොල කීපයක් දිග හැරියාය . නමුත් ඒ අතර එක් සල්ලි කොලයක් ඉතාමත් පිලිවෙලට තබාගෙන සිටිනු පෙණින .මා ඇය දෙස බලා සිටිනු ඈ දැක්කාය .එක වරම මා දෙස බැලූ ඇය මද සිනාහවක් පළකළේය . ඊලගට වීම්ට යන්නේ කුමක්දැයි මා හට සිතා ගැනීමට පුළුවන . මා ඉදිරිපස හැරී ගමන් ගත්තේය .


මාගේ නිගමනය නිවැරදිය . එක්වරම ඇය මා දෙසට හැරී කතා කිරීමට පටන් ගත්තේය .



" මහත්තයෝ ..., මහත්තය ළග රුපියල් පනහෙ කොලයක් නැද්ද ... ? "



" නෑනෙ . මාරු සල්ලි කීයක්වත් නෑ . " මා පිලිතුරු දුන්නෙමි .



ඇය එක්වරම ඇය ළග තබාගෙන සිටි රුපියල් පනහෙ කොල දෙකක් මා හට පෙන්නුවේය .ඉන් එක් කොලයක් අලුත් පනහෙ කොලයකි .



" මේ බලන්න මහත්තයෝ .. , මේ සල්ලි කොල දෙකේ වෙනස . මේකට වඩා පුදුම ලස්සනක් මේකෙ තියෙන්නෙ නේද මහත්තයො . මේක අලුත්ම පනහෙ කොලයක් . මට මේක මහත්තයෙක් මහත්ත්යො මේක දුන්නෙ . .. ....මහත්තය දැක්කද අලුත් පන්සීයෙ කොලේ ... ? ඒක දම් පටයි ......"



ඇය තමන් ලග තිබූ පනහෙ කොල දෙක දෙස බලමින් සිටියාය .මා පෙරටත් වඩා දැන් ඇය පිළිබඳව විමසිලිමත්ය .



" මහත්තය ළග නැද්ද අලුත් පනහෙ කොලයක් .මම මහත්තයට මෙ පනහෙ කොලේ දෙන්නම් "



මා හට තවමත් සිතා ගැනීමට නොහැකිය .ඇයට අවශ්‍ය වන්නේ අලුත් පනහෙ නෝට්ටුවකි .ඇයට මෙතටම් ඒ අලුත් පනහෙ නෝට්ටුව සමීප වී ඇත්තේ ඇයි දැයි සිත ගැනීමට නුපුළුවන .ඒ එක අලුත් නිසාවෙන්ද ... ? නැතිනම් එය මහත්තයෙක් දුන් නිසාවෙන්ද ... ? ඇතැම් විට එසේ විමට පුළුවන . එය අලුත් නෝට්ටුවකි . එය දී ඇත්තේද මහත්තයෙකි . ඒ මහත්තයා හා රුපියල් පනහෙ මුදල් නෝට්ටුව අතර වූ සම්බන්ධය ඇය කෙතරම් දුරට සමීකරණය කොට ඇත්ද ..... ?



" ඇත්තටම මං ළග පනහෙ කොලයක් නෑනෙ ... "



" අහ් ... කමක් නැ මහත්තයො ."



ඇය ඒ සියල්ල පෙර සේම ලේන්සුවේ ඔතාගත්තේය .නමුත් අලුත් පනහෙ නෝට්ටුව පමණක් ඇගේ හදවත තුලට රිංගා යනු මට පෙණුනි .



" මං ඉස්සරහ බහිනවා මහත්තයො . බුදු සරණයි ... ! "



" බුදු සරණයි ... ! "



ඇය ආසනයෙන් නැගිටිමට උත්සහ ගෙන නැවත මා දෙසට හැරුණේය .



" අනේ , මහත්තයො ... කරදරයක් නැත්නම් ඔය බිම තියෙන කිහිලිකරුව පොඩ්ඩක් අරං දෙනවද .... ?



එවේලෙහි මාගේ හදවත ඉරාගෙන පුදුමාකාර වූ කම්පණයක් නිදන්ගත විය .තවමත් එය හදවත තුල හඩ නගණු මට දැණේ . ඒ අවසානය මා විසින් කිසිසේත්ම අපේක්ෂා නොකළ අවසානයක් විය .

8/14/12

මා හට ව්ටෙක දැනුණු දේවල් .... !



අද අලුත් දවසක් බව මම දැන සිටියෙමි.නමුත් හෙට උදාවෙනේද අලුත් දවසක් බව මම අමතක නොකලෙමි.තප්පරෙන් තප්පරය මාගේ සිත කඩා වැටෙද්දි ,ඒ අතීතය තුලම මළ බැදෙද්දී මාගේ සිත මා හට ඉවසීම පුරුදු කරන්නට විය.විටෙක එය මහත් අශිර්වදයක් වුවා සේම ,විටෙක මා අතරමං කරන්නක් විය .බුද්ධිමත් යයි කියන මිනිසාගේ සිත බුද්ධිමත් ලෙස තේරුම් ගැනීමට නුපුළුවන .එසේ වන්නට ඇත්තේ මිනිසා තුල  තිබෙන ගුප්ත අව්‍යාජ්‍ය බව නිසා විය යුතුය .නමුත් මා ද ඒ කුලකයටම අයත් බව මා හට අමතක කිරීමට නොහැක .මාද ඒ තිරිසන් සත්ව කොටසටම අයත් වුවෙකි .
                       
                          මිනිසකු ලෙස ජීවත් වනවාට වඩා ම්ත්සයකු වී මිනිසගේ තොන්ඩුවට හසුවීම සැපදායක යැයි මට සිතෙයි .විටෙක ජල ගැඹුරු සිඹිමින් රිසි සේ විඳින්නට ඌට  පුළුවන .විටෙක අහස් මිරිඟුව ස්පර්ශ කිරීමට පුළුවන .ඔවුන් අතර විවිධත්වයක් නොමත .ගැටීමක් නොමැත. අණ කරන්නන් නොමැත.ඔවුනට සිත් පිහිටා ඇත්නම් ආදරය හා සෙනෙහස එකට කැටි වී මහ සයුර පිටාර ගලනු ඇත .ජීවත්  වෙනවා යැයි සිතමින් ජීවත් වෙනවාට වඩා වින්දනය කරමින් මියයාමට මම ආශා කරමි .නමුත් ඒ අවසානයට පෙර වර්තමානය තුල වින්දනය කිරීමට මා උත්සහ දරමින් සිටිමි.යථාර්තවාදී ජීවිතයකට මුහුණ දීමට උත්සහ දරමින් , ආටෝපය සමග ගැටෙමින් ජීවත්වෙද්දී දැනෙන මනසික ආතතිය මා හට මිස තවකෙකු හට තේරුම් ගැනීමට නුපුළුවන ............

8/7/12

තවම ජීවත් වන අවාසනාවන්ත ආදරයක ඇත්ත කතාවක් ... !



                                                                     පොත් මේසෙ දෙසට දඹුලු  ගල උඩ ඉඳන් කාමරය හරහා ගලා ගිය සෑම සුළං රොදක්ම මට එදා ඉඳන් ආශිර්වාදයක් වුණා .උසස් පෙළ ලියද්දි මට මගේ තාත්තා නැති වෙද්දි අම්මගෙයි මල්ලීගෙයි ඇස් වල බලාපොරොත්තුවක් කියලා දෙයක් තිබ්බානම් ඒ මං විතරයි .

                                                                                     විශ්ව විද්‍යලයකට යන්න ලොකු ආසවක් තිබුණත් මට කොළඹ ගිහින් ඉගෙන ගන්න තරම් සල්ලියක් තිබුණේ නෑ .ඒ වෙනකොට තමයි අම්මගෙ කනකර බඩු උගස් කරල මාව කොළඹට එව්වේ .මම ගොඩක් මහන්සි උණා උපාධියක් අරගෙන අම්මවයි මල්ලිවයි කොළඹ අරගෙන එන්න .මේ වෙනකොට මම කොළඹ කැම්පස් එකේ තුන්වෙනි වසර ශිෂ්‍යාවක් .මේ කාලෙදි තමයි මට මධුරංග සේනාධීරව හම්බ වෙන්නෙ  . එය වැඩ කළේ  කොළඹ ඔෆිස් එකක .නිතර නිතා කැම්පස් එක  ලගින් යන එනකොට තමයි  අපි දෙන්නව හම්බ වුණේ .නිතර නිතර හම්බ වුණු අපි එකි නෙකාව හඳුන ගත්තා .කතා බහ කළා.  මධුරංගයි මමයි මේ විදිහට කාලයක් මුනගැහෙනකොට මගේ කාල සටහනේ කොනක මධුරංගගෙ නමත් ලියවෙන්න පටන් ගත්තා .අපි දෙන්නා අතර ලොකු සම්බධයක් ඇති වෙන්න වැඩි කාලයක් ගියේ නෑ .කැම්පස් එකේ හැමෝම මේ ගැන නිතර දෙවේලෙ කතා බහ කරද්දි අපි දෙන්නා ඇත්තටම ආදරය කරන්න පටන් ගත්තා .ඇත්තටම මට , මධුරංගගෙයි මායි අතර ඇති වෙච්ච සම්බන්ධය ආදරයක් කියලා කියන්න පුළුවන් කමක් තිබුණා.

                                                                                                                           අපේ ගෙවල් වලට හොඳට සරුසාර කුඹුරු තියෙද්දි මල්ලි කුඹුරු වැඩට හුරු වුණා .මල්ලිගෙ දහඩිය මහන්සියෙන් වපුරපු අලුත් හාලෙ හාල් මිතක් ගෙනාපු දවසට මම හැමදාම මම මධුරංගට අලුත් හාලෙ බතක් උයාගෙන ගියා. නෙළුම් කොළේ බත්  කන්න මධුරංග හරිම ආසයි කියපු දවස් වලට මම පිල්ලෑවට තනියම ගිහින් නෙළුම් කොළ ගෙනල්ල බත් එකක් බැඳගෙන  ගියපු දවස් කොච්චර ඇත්දයි මට මෙපමනයැයි කීමට නුපුළුවන .ඒ දවස් වලට මම තනියම සන්තෝස වෙන්නත් ඇති .පමණක් දවස් වලට මධුරංගයි මමයි එකම බත් එක  කන්න පුරුදු උනා .  ඒ හැම මොහොතකම එයාගෙ අතින් බත් කටක් කවන හැම මොහොතකම එයාගේ ඇඟිලි තුඩුවලින් ආදරය මගේ හදවත පුරාවටාම කාන්ඳු වුණා .මේ වෙද්දි මගේ උපාධියත් අවසන් වෙන්නේ මධුරංගගෙයි මගෙයි ආදරය තව තවත් මට දැනෙන කාලෙක .උපාධිය අවසන් වුනත් එක්කම වගේ මධුරංගට මාව ඉක්මනටම මැරි කරන්න ඕනෙ වුණා . මධුරංගගෙ යල්ලුවො කීප දෙනෙකුත් මේ වෙනකොට මම අදුරගෙනයි හිටියෙ . ඒත් ඒ අය ටිකක් වෙනස් කියලා මට තේරුණා. මං ඒ ගැන මධුරංගට විටින් විටකිව්ව . මේ අතර තුර තමයි මධුරංග අපේ ගෙදර එන්නෙ .ඒ මගෙයි  එයගෙයි විවාහය ගැන කතාකත ගන්න .තාත්තා නැති මට දැන් කොළඹ ගොඩක් හුරු නිසා අම්මත් මේ කසාදෙට කමති උනා. මමත් ගොඩක් සංතෝස වුණත්  කාලෙක් ඉඳන් මධුරංගගේ වෙනස මට ප්‍රෙහේළිකාවක් වුණත් මම ගොදක් එයාට ආදරය කළා . එ නිසාම පත්වීම් ලැබෙන්න මාස කීපයක් තියෙද්දි මම අම්මවයි මල්ලිවයි දාල  කොළඹ පඳින්චියට එන්න වුනා .

                                                                                                                                            මධුරංගගේ මගෙයි පුංචි කුරුළු කුඩුව තිබුණෙ බොරලැස්ගමුවෙ . අපි ඒ තැන  ලස්සන තැනක් කරන්න ගොඩක් උතසහ ගත්තා .  මගේ පත්වීමුත් කල් ගිහින් තිබුන නිසා මධුරංග මට ඒ ගැන වද වෙන්න එපා කිව්වා .ඒ නිසා එයාගේ කීමට ඉහලින් යන්න මට ඕන කළේ නෑ .මම හැමදාම එයාට උදෙන්ම වැඩට යන්න හැමදේම ලැස්ති කරලා දුන්නේ හරිම ආදරෙන් .ඇත්තටම මධුරංග මට වැඩිය ගොදක් උස කෙනෙක් . ඒ නිසාම සමහර දවස් වලට පුංචි බන්කුවක් උඩට නැගලා එයාගෙ ටයි එක හදන්න ආස කළා .එතකොට මගේ නළල ඉඹලා එයා හිමීට ගෙදරින් යන්න යනවා .

                                     අපි කසාද බැඳලා ටිකකාලයක් යද්දි මධුරංගගෙ වෙනස ගොඩක් දැනෙන්න පටන් ගත්ත . ගෙදර එන්න පරක්කු වුනා . නොදන්න දුරකථන කෝල්සෙන්න ගත්තා . ඒවා ගොදාක් කෙල්ලන්ගෙ ඒව කියල මට තෙරුනේ එයට හොරෙන් මම එන කෝල්ස් වලට කතා කළාම .එයා කිව්ව ඒවා ඔෆිස් එකේ ඒව කියල .මම හිත හදා ගත්තා .තාත්තෙක් අම්මෙක් නැතිමට  ජීවිතය වරදිනතැනට  වැඩ සිද්ද නොවෙන්න මම ගොඩක් උත්සහ කලා .මේ විදිහට කාලයක් යද්දි මධුරංග බොන්න පුරුදු වෙලා හිටියා . එයාගෙ යාලුවො නිතරම ගෙදෙට්ටත් එන්න පටන් ගත්තා . ඒ වෙනකොත අපේ පුංචි කුරුළු කූඩුවත් බේබද්දන්ගෙ පාරාදීසයක් වෙන්න ගත්තා . මම පමනක් වෙලාවට කෑ ගැහුවා .බැන්නා . එක දවසකෙය ආදරෙන් ඉඹගත්තු කම්මුලට ගැහුවා . මගේ හදවත කෑලි කෑලි වලට  ඉරාගෙන යනවා වගේ මට දැණුනා . මට කරන්න දෙයක් තිබුණේ නෑ .අම්මගෙයි මල්ලිගෙයි ලගට මට යන්න පුළුවන් කමකුත් නෑ .මම මේ දේවල් ඉවසන්න පුරුදු උණා . ගෙදර ඉදන්ම බොන්න පතන් ගනිද්දි  මම කඩල තම්බ තම්බ මාවත් උන් ඔක්කොම එකතු වෙලා බයිට් එකට ගන්නකන් ඇහැරිලා හිටියා  .සමහරක් වෙලාවල් වලට එතන හිටපු පමනක් එවුන් මන් දිහා බැලුවෙ  අලුත බැදපු මස් කෑල්ල්ක් දිහා බලනවා වගේ .මේ  කාලේ වෙනකොට තමයි මගේ ජීවිතේ මූසලම කතාව පටන් ගන්නෙ .

           මම දවසක් ගෙදර ගිහින් එන්න කියලා ගියේ මේ හැම දේකින්ම ටිකක් අයින් වෙලා ඉන්න බලාගෙන .ඒත් මම කවදාවත් මේ කිසිම දෙයක් අම්මටවත් මල්ලිටවත් කියන්න ඕනෙ වුණේ නැ . ඇයි මම එයාලගෙ සතුට උදුර ගන්නේ .මම එදා අපහු ගෙදර එනකොට ගේ හමතැමනම ලයිට් දාල තිබ්බා .වාහනකුත් තිබ්බ නිසා අදත් මධුරංග සුපුරුදු විදිහටම ඇතුලේ ඉන්න බව මම  දැනගතතා .ගමේ  ඉඳන් එනකොට අරං ආපු සතුට පාර අයිනකට විසී කරලා මම ගෙට එනකොට වෙනදට ඇහෙන කිසිම සද්දයක් තිබ්බේ නෑ .මම බය වුණා . ගේ පුරාම ගිල ගත්තු මහ මූසල නිහඩ කමක් තිබ්බා  .ඒ  මූසල නිහඩකම ඇතුලෙන් කෙල්ලෙක්ගෙ කට හඬක් ඇහුණා .මම කාමරේට දිව්වා .එතකොත මම දැක්ක දේ කියන්න මට තේරෙනෙ නෑ .මදුරංගයි එයාගේ යාළුවොයි  .............. ? මට මාව කෑලි කෑලි වලට ඉරලා දාන්න හිතුණා.මගේ දෙපතුල ඉඳන් ආපු වේදනාවක් මටක් හයියෙන් කෑ ගහන්න හත්තා .

                                                            අවුරුදු ගාණක් ආදරය කරපු මධුරංග හැමදාම යාලුවො එක්ක බොන්න පුරුදු වුනා .පමණක් දවස් වලට ඒ හැමදෙම  අතරේ මට බනින්න වුණා. මම වැඩ කාරයෙක් ගනට වැටුණා.  යාලුවො ගිය ගමන් මට ගහන්න පටන් ගත්තා . පමණක් වෙලාවල් වලට කරපු දේවල් කියන මට පුළුවන් කමක් නෑ .සම්හර දවස් වලට එයාගේ අත් පාරවල් වලින් මගේ මුළු ඇගම වැහිලා ගියා .වතුර ටිකක්වත් බොන්න පන නැති වෙනකන් මට ගහපු දවස් ඕන තරම් තියෙන්න ඇති .මන් ඉස්සරහ එක එක ගෑණු එක්ක  රති සුවය වින්දා .තනියම නෙමෙයි . යාළුවොත් එක්කත් . මට මේ වෙනකොට වහ ටිකක් කාල මැරෙන්න හිතුනත් අන්තිමට මගේ මල්ලිවයි අම්මවයි මතක් වෙන්න ගන කොට .... ?හ්ම්ම්ම්ම්ම්ම් ....මම මේ වෙනකොට තමා දැන ගත්තෙ මධුරංගට කලින් කසාද තුනක් තිබුණා කියලා. ඒ කියන්නේ  මම එයාගෙ හතරවෙනි කසාද ගෑනි උණා . මේ දේවල් ගැනාහනකොට දකිනකොට මගේ ඇස් වලින් කෑලි වල්ට කුඩුවෙච්ච කඳුලු ඕන තරම් මේ ගෙදර බිත්ති වලට කාන්දු වෙන්න ඇති .මේ කොට්ට වලට කාන්දු වෙන්න ඇති .

               එදා වෙනදා වගේම මධුරංගයි යළුවොයි බොන්න පටන් ගත්තා .මං වේදනාව ඉවසන්න බැරි තැන එයාලට ඕන හැමදේම හදල තියලා නින්දට ගියා .ඒත් මේ දේ වෙන්න ඕනෙනම් පැය දෙකක් ගත වෙන්න ඇති .මගේඅ ඇග පුරාම කවුදෝ අත ගානවා වගේ මට දැණුනා .මම බය වෙච්ච පාර මම කෑ ගැහුවා .එතකොටත් මධුරංගයි එයාගෙ යලුවොයො මගේ ඇඳ උඩට වෙල ඉන්නවා දැක්කා ,මම  දැගලුවා .කෑ ගැහුවා .තුන්දෙනාම මාව හයියෙන් පොර බදද්දි මම එකෙක්ට කමුලට ගැහුවා .ඊට පස්සෙ වෙච්ච දේවල් වලින් මට මතක මගේ ඇග පණ නැති වෙනකම් මධුරංග මට ගාහුවා කිය්න එක විතරයි .

                                                                                                                 මගේ ඇග පුරාම උන් තුන්දෙනාම රති සුව විඳලා තිබ්බා. උන්ගෙ අරක්කු සිගරට් වලින් මාව හෝදලා තිබ්බා.ඒ වෙනකොටත් මම උන් එක්ක පැයක් එකහමාරක් පොර බදල තිබුණා .මට මගේ ඇගේ පණ කියල දෙයක් තිබ්බනම් ඒ තිබුණෙ හුස්ම ගන්න විතරයි . හැබැයි මේ හැම දේත් එක්කම මන් ගොඩාක් ආදරය කරපු , ආදරෙන් බත් කවපු , මධුරංගත් මාව විනාස කරලා තිබ්බා. මේ හැම දේම කරලා මාව පන පිටින් තියනෙ නැතුව ඒ විදිහට මට කරපු එක ගන මම සංතෝස වෙනවා . මගෙන් ගන්න ඕනෙ හැම දේම අරගෙන උන් තුන්දෙනා මාව මධුරංගගේ කමිසාකින්ම මාව කාමරේ ෆෑන් එකේ එල්ලා ගිහින් තිබ්බා .මම මධුරංග කිය කියා කතා කරද්දි එයා ෆෑන් එකත් ඔන් කරගෙනම ගෙදරින් ගිහින් තිබ්බා . මම දවස් දෙකක් මධුරංග දැන් එයි කිය කියා ෆෑන් එකේ එල්ලිලා පණ ඇද්දා . ඒත් එයා ආවේ නෑ .මිනිස්සු වගයක් ඇවිත් මාව දවස් දෙකකට පස්සෙ බිමට ගනිද්දි තමයි මම මගේ අන්තිම හුස්ම පුංචි කුරුළු කූඩුව ඇතුලෙ අතෑරලා දාල යන්න ගියේ .ඒත් ඒ ගෙදර ආදටත් මගේ හුස්ම තියෙනවා .මගේ විලාපය දෝන්කාර දෙනවා .අදටත් මාව  දූෂණය කරලා එල්ලල ගියපු කාමරේ ඇඳ උඩ මගේ කඳුළු තාම පණ අදි නවා . තාමත් ඒ කඳුළු වල තෙත ගතිය ගේ පුරාම තියෙනවා .ඒත් මධුරංග කවදාවත් තාම ආවෙ නෑ .

( මෙම කථාව අහම්බෙන් මා හට දැනගන්නට  ලැබුණු සත්‍ය කථාවකි . නමුත් මෙහි එන නම් ගම් සත්‍ය ඒවා නොවන බව කිව යුතුය . )








10/18/11

සියලු තැන් නිහඬය


නිහඬය
සියලු තැන් නිහඬය
මෘදු සුළං පහරක හීන් ස්වරයක්
සැණින් බිඳලීය සියලු දෙය .........

ටිකෙන් ටික ටිකෙන් ටික
මෘදු ස්වරය දැවටිගත්
හීන් පිණි බිඳු
එකින් එක වැළඳගති
රෑ කුමුදු පෙති තුඩග ......

සීතලට ඇඹරෙන
ගැටිසි මල් තුඩු
එකින් එක තුරුලුවෙයි
වසුදරා තුරුලට

මා නොදුටුවෙමි

සිහිල් සමිර පොදි සමග ආ
අතහැරුණු තුෂර බිඳු
අවසර නොගෙන මාගේ
කවුළුව තුලින් රිංගා
වැළඳගති මාගේ වම් උරහිස ..........

එකින් එක
හදවත දිගේ කාන්දු වූ
ලතෙත් සීතල
දෙපතුල දක්වාම ලැගුම් ගත්තේය

මා හට කිරීමට කිසිවක් නොමැත.

පොරවනය අතහැර
විඳගතිමි ඒ සීතල ..........

10/22/10

" අලුත් බෝඩිම ....... "


මා හට හුරුපුරුදු තනිකම
නුපුරුදු නිරුත්තර ලෙස
මා හද පමණක්ම නොව
මා ගත ද මිරිකා
රෝමයෙන් රෝමය
පුළුස්සයි ..............

වේදනාවන් මිරිකා
ඇඳ ලෑලි අතරින් වැහැරුණු
තුනී කඩතොළු මෙට්ටය
පිට කොඳු පුරුක් අතරට තෙරපෙයි .........

වෙනදා සුමුදු ලෙස
මා සමග තෙරපුණු සුළඟ
තාපයෙන් පීඩිතව
මා ගත පෙළු තනිකම
සිත්තම් කරයි .................

හුරු පුරුදු තනිකම
මට දැන් කෝඩුකාරයි .......... !

10/10/10

කණ තියා බලාපං ඒ මහ පොළොවටම ...... !


විඩාපත් දෑතින්
දහඩිය සුවඳ මුසු කොට
ගොඩනැගූ ඔවුන්ගේම හදවත
ඔවුන්වම මරා
ඔවුන්ගේ ප්‍රාණය
හිර කරණ ලද්දේය
ඔවුන්ගේම මහ පොළොව යට .........

කණ තියා බලාපං
ඒ මහ පොළොවටම
යලිත් සැරයක් ..... !

අසාපං සවන් හැර
උඹ විසින් හිර කෙරූ
ඔවුන්ගේ ප්‍රාණය
පණ අදින හැටි තවමත්
උඹ දිහා බලාගෙන ........ !

10/9/10

උපාධි ලත් මුරකරුවෙක්.......... !


උජාරුවට ඉස්කෝලෙට
ගිහින් ලියපු කවි පංතිය
මට තාමත් උගන්වනවා
ජීවත් වෙන හැටි කොහොමද

ඔන්න ටිකක් ලොකු වෙනකොට
වාඩි වුනා විභාගෙකට
මට එතනදි කියාදුන්නා
වෛර කරන හැටි කොහොමද

එකිනෙකාට ඉරිසියාව
තමන්ම පමණයි වැදගත්
උසස් පෙළදි මම දැක්කෙ

" මම ඉන්නෙ කැම්පස් එකෙ "
උජාරුවට ඇත දැන් මට
ලබා ගත්තු ලේබලයක්
මුළු ලෝකෙට පෙන්නන්නට

ජීවිතයෙන් භාගයක්ම
කඹුර කඹුර එක එකාට
දැන් මට ඇත උපාධියක්
අනික් උන්ට පෙන්නන්නට

මම දැන් අර කන්තෝරුවෙ
ගේට්ටුවේ මුරට ඉන්න
උපාධි ලත් මුරකරුවෙක්.......... !

10/5/10

බුදුන් කිව්වාද ඒ ලෙස පුදන්නට මල් විතරක්ම...... !


ඇයි.... !

නෙළුම් මල් විතරක්ම ,
සමන් මල් විතරක්ම ,
සීත පැන් ඉස
පුදන්නේ බුදුගෙට
බණ පදක් අසන්නට ............ !

ඇයි.... !

පන්සලේ ගල් බැම්මෙ
තුනියට හැදෙන කටු රොද
නොයන්නේ බුදු ගෙට
බුදුන් ස්වරයෙන්
බණ පදක් අසන්නට....... !


ඇයි... !

බුදුන් කිව්වාද ඒ ලෙස
පුදන්නට මල් විතරක්ම

ඇයි.... !

කටු රොද නුසුදුසුද
බුදුන්ගෙන් බණ අසන්නට .......... !

10/3/10

" බෝනිකි ගෙදර " වේදිකා නාට්‍යය පිළිබඳව සහෘද විමංසාව



ජීවිතය තුල ඇති වන්නා වූ ගැටළු ජීවිතය තව තවත් ජීවත් කරවයි .එම ගැටලුව මිනිසුන් අතරම පැන නැගී මිනිසා සමගම පෝෂණය වී මිනිසා අතරම පුපුරා යයි .ඒ තුලින් ඇති වන්නා වූ කම්පනය ඒ ඒ පුද්ගලයාට බලපාන්නේ ඒ වට ඔවුන් හට තිබෙන සම්බන්ධතාවය අනුවයි . ලෝකයේ කලාව යන්නද ගොඩ නැගෙන්නේ මේ කියන්නා වු මිනිස් කුලකය තුලමය .නමුත් මෙලෙස ගොඩනැගෙන්නා වූ කලාව තුලින් නාට්‍ය කලාව හුදෙක් මිනිසා සමගම ගැටෙමින් පෝෂණය වූවකි .මේ ආකාරයට පෝෂණය වන්නා වූ නාට්‍ය තුල මිනිසා හ මිනිසාගේ ජීවන වෑයම හෙලිදරව් කෙරෙන කලා කෘතීන් සම්භාව්‍ය යන්නාවූ සිද්ධාන්තය තුලට පිවිසෙයි .අප ජීවත් වන ලෝකය තුල අපට දැනෙන අප දකින් ජීවන යථාර්තය මෙම කෘතීන් තුල නිර්මානය වී තිබෙයි . මෙලෙස නිර්මානය වූ නාට්‍ය අතුරින් ලෝක ධර්මතාවය වේදිකාවට ගෙන ආ නාට්‍ය කරුවකු වන නෝවේජියානු ජාතික හෙන් රික් ඉබ්සන්ගේ බෝනිකි ගෙදර නම් වූ සම්භව්‍ය මා කලා නිර්මණය තුන් කල් සංස්පර්ෂණය කළ නාට්‍ය නිර්මාණයක් ලෙස දැක්වීමට කැමැත්තෙමු .

ලෝකයේ වේදිකාවට ගෙන ඒමට අපහසුම නාට්‍ය කරුවන් වේනම් ඒ අතර ඉහලින්ම සිටින්නේ ඉබ්සන් යැයි කීමට පුළුවන .ඔහු තම නාට්‍ය තුල පෝෂණය කරනු ලැබුවේ මිනිසා අතරම ඇති අරගලයන්ය .සමාජය තුල සම කාලීනව තිබූ සිදුරුය .මේ ඔස්සේ යමින් එකල සමාජ වපසරිය තුල ඔහු දුටු කාන්තාව හා සමාජය යන කාරණාව වැඩිපුර තම තේමා කර ගැනීමට උනන්දු වී ඇති බව කීමට පුළුවන . නමුත් ඔහු කාන්තාවගේ විමුක්ති දායකයා ලෙස කටයුතු නොකළ බව් අකිව යුතුය . නමුත් බොහො සමකාලීනයන් ඔහුව දුටුවේ එලෙසටය . ප්‍රධාන වශයෙන් මෙම බොනිකි ගෙදර නාට්‍ය තුලින් එය එලෙස මතු වන බව ඔවුහු දැක්වූහ .බෝනිකි ගෙදර නාට්‍යයේ නෝරා තම නිවස අතහැර යාම ඔවුහු අර්ථ කථනය කර දැක්වූයේ පිරිමියා අතහැර තම විමුක්තිය වෙනුවෙන් සටන් වදින ගැහැණිය ලෙසටය .නමුත් ඉබ්සන් සිය නාට්‍ය පුරාවටම අර්ථ දැක්වීමට උතසහ දරන්නේ විමුක්ති ධර ගැහැණිය නොව එකිනෙකාව වටහා ගැනීම යන කාරණාවයි .

ශ්‍රී ලංකාව තුල අද වන විට මෙම නාට්‍යය සිව් වතාවක් පමාණ නිෂ්පාදනය විය . නමුත් මේ කියන්නාවු වැටහීම යන සිද්ධානිත ඒවා තුල කෙතරම් දුරට ගොද නගමින් ඒ ඒ චරිත වලට සාධාරණයක් වුනාද යන්න ගැටළුවකි . එලෙස ප්‍රශ්නාර්ථයන් ඉතිරිව තිබියදී මෑතක නිෂ්පාදන්ය වූ බෝනිකි ගෙදර නාට්‍ය කෙතරම් දුරට මෙම අභියෝගය භාර ගත්තාද යන්න් විමසීම වටිනේය .

පළමු වශයෙන් මෙහි පෙළ අධ්‍යයනය කරන්නෙකුට වැටහෙන පලමු කාරනාව වන්නේ මේ තුල ඉබ්සන් යොදාගෙන තිබෙන්නේ ස්ටැනිස්ට් ලාවුස්කිගේ රංගන විධික්‍රමය යන්න බවයි .නාට්‍ය තුල ඒ ඒ චරිත විග්‍රහ කිරීමත පහසු මෙන්ම යෝග්‍යම වන්නේ එයයි . පැසසුම් සහගතව පළමුව මේ කියන්නා වු ක්‍රමය මෙම නාට්‍ය තුල සාර්ථකව යොධාගෙන තිබුනු බව ජගත් බණ්ඩාරයන්ගේ අධ්‍යක්ෂණයක් ලෙස වේදිකා ගත වූ බෝනිකි ගෙදර නට්‍යයෙන් හෙලිදරවි විය . එයින් නාට්‍යයේ මූලික පදනම ඔහු විසින් හදුනාගෙන තිබෙන බව කිය හැකිය .

නෝරා යනු මෙම නාට්‍යයේ අර්ථකතනයට අනුව බෝනික්කියයි .තම පියා තුරුලේහි හුරතල් වන ඇය ටෝවල්ගේ හුරතල් බට්ටිච්චි ලෙස , ගී කිරිල්ලි ලෙස නැතිනම් හා පැටික්කි ලෙස ඔහුගේ සෙවනට එයි .සම්කාලින සමාජයට අනුව ඇයටද වූයේ සැමියාගේ සෙවන මත ඔහුට රිසිසේ ඔහුට හුරතල් වෙමින් සිටීම පමණි . ඇයගේ කාර්යය දරුවන් සමග ගෙවන ජීවිතය පමණි .නමුත් ඇය අන් අයතරම් බොළඳ නැත .ඇය නිසැකයෙන්ම ශක්තිමත් ගැහැනියකි .

ගැහැණියකටතම විවාහයෙන් පසු ජීවන රුකුල වන්නේ තම සැමියාය .ඇය හා සැමියා අතර හටගන්නේ ආත්මගත බැඳීමකි .ආසියාවේ සැමියා මැරුණු ගැහැනිය වැන්දඹුවයි .නැතිනම් පව්ගෙවිය යුතු පව්කාරියකි .නැතිනම් අන් පිරිමින්ගේ සුව යහන මත නිදන වෛශ්‍යවකි .මෙන්න මේ කියන්න වූ ප්‍රස්තුතයන් ගොඩ නැගීමට පෙර තම සැමියා සුරක්ෂිත කර ගැනීම නියම බිරියකගේ වගකීම වෙයි .මෙලෙස ආසියාව තුල පමණක් නොව ලොව ඕනෑම ගැහැනියක තම සැමියා මරණ මංචකයේ සිටිනු දැකීමට කිසිදා නොපතයි .බෝනිකි ගෙදර නාට්‍යයේද නෝරා ක්‍රියා කරන්නේ මේ කියන්නා වු පොදු ගැහැණියගේ භූමිකාවට අනුවය .ක්‍රොග්ස්ටඩ්ගෙන් තම සැමියට හොරෙන් ණයක් ගන්නේ තම සැමියාගේ ජීවිතය ගලවා ගැනීම පිණිසය . එය කෙතරම් මානුෂීයද....... !

නෝරාගේ චරිතය යනු මෙම නාට්‍යයේ තිබෙන ප්‍රාණීයම චරිතයයි .ඒ වාගේම ඉක්මන් හැඟීම් ජාලාවක එක විට දෝලනය වන චරිතයකි .තම රහස පිටතට නොපෙන්නවා තමන් තුලම අරගලයක යෙදෙන ගැහැනියකි .එවැනි ගැහැනියකගේ ස්වාභාවය කෙලෙසද ..... ඇයගේ හැගීම් ජාලාව කෙසේ විය යුතුද .... මෙය මැනවින් නාට්‍ය කරුවා තේරුම් ගෙන තිබෙන බව කීම සාවධ්‍ය නොවේ .ප්‍රධාන වශයෙන් මෙම නෝරා කියන චරිතය තුල ප්‍රාථමික ලක්ෂණ පවතියි . ඇතැම් විට නෝරා උඩ පැන අත්පුඩි ගසන්නේඑම ලක්ෂණ මතුවන විටය .එවැනි අවස්ථා බොහොමයක් මෙම නාට්‍ය තුල පවතියි .එය නියමාකාරයට ජගත් බන්ඩාරයන් වටහාගෙන නිර්මාණය කර තිබුණි.

මෙම නාට්‍යයේ ක්‍රොග්ස්ටඩ්ගේ චරිතය යනු තමන් උදෙසාම වැඩ කරන තමන් වෙනුවෙන් අරගල කරන පුද්ගල චරිතයයි .ඔහුව හෙල්මර් විසින් කන්තෝරුවෙන් අස්කරන්නට පටන් ගන්නා දින සිටම , නෝරා තමන් සමග කළ රහස් ගණුදෙනුවට අදාල ලියවිල්ල තම ආයුධය බවට පත් කරගනියි .ඔහු මෙම ලියවිල්ල සමග නෝරාව හිර කරන්නේ තම රස්සාව වෙනුවෙනි .බිරිඳගේ හැරයාමත් සමග ඔහු ඇද වැටී තිබුණු ජරා ජීර්ණ අවදියෙන් ගොඩ ඒමට පණ කෙන්ද වගේ ඔහු සටන් කරයි .මේ කියන්නා වූ අරගල ඔහු තුල ගොඩනැගෙන ආකාරය මනාවට ප්‍රේක්ෂකයාට ගෙන ඒම අධ්‍යක්ෂකවරයාගේ වගකීමකි . නෝරාගේ සියලුම රංගයන් ප්‍රේක්ෂකාගාරය වෙත ගලා යන්නට පටන් ගන්නේ මෙම චරිතයේ පවතින වර්ණයත් සමගය . එය මහා භාරදූර කාර්යයකි. එයද නාට්‍ය කරුවා ජයගෙන තිබෙන බව කිවයුතු අතර ක්‍රොග්ස්ට්ඩ්ගේ සංවාද ගලනය තාවත් වේගවත් වූයේනම් මැනවි යැයි මට සිතේ .එසේ නොවන විට නෝරාගේ චරිතයේ වර්ණය ඉදිරියට කැපී නොපෙනෙයි . ඒ වාගෙම මාගේ විචක්ෂණයට නතු වූ තවද කාරණාවක් වන්නේ නෝරාගේ චරිතය තුලට එම සම්පත් දායිකාව දුන් බර තව තවත් වැඩි විය උතු බවයි . ඒ චරිතයේ හැගීම් අපගේ හදවතට නොදැනුණු බවක් හැඟුණි . නමුත් සාධාරණයක් කිරීමට ඇය උත්සහ දැරූ බව කිව යුතුය .

අධ්‍යක්ෂණය මත මැනවින් පෝෂණය වී තිබූ චරිත ද්විත්වය ලෙස ලින්ඩේගේ චරිතය හා ඩොක්ට රෑන්ක්ගේ චරිතය ගැනීමට පුළුවන .ලින්ඩේ යනු ජීවිතය වටහා ගත් ගැහැණියකි .ජීවිතයේ දුක් කම් කටොළු විඳ දරා සිට තිබෙන ගැහැණියකි . ඇයගෙ ස්වරය තුල ඒ සෑම දෙයම ගැබ්ව පවතියි .එය එම චරිතයට පණ පෙවූ සම්පත් දායිකාව මැනවින් සාධාරණලෙස චරිතයට ඉටුකළ බව පෙනිණ .

ඒ වාගේම රෑන්ක්ගේ චරිතය යනු මරණය දකිමින් ජීවත් වන මිනිසෙකි . ඔහු නෝරාට ආදරය කරයි . මරණය තෙක්ම සිත තුල පැසවමින් තබා ගෙනසිටි ඔහු එය අවසාන් බිඳ වැටීමට පෙර ඇයට ප්‍රකාශ කරයි . ඔහු තුල මේ ආකාරයෙන් ගොඩ නැගෙන සිද්ධි දාමය තුල අධ්‍යක්ෂක වරයා ඊට අදාල නියම මග පෙන්වීම කර තිබේ . නාට්‍යය තුල සිටින පහලම ස්වර ලාභියා එම චරිතයයි . ඒ එම චරිතයට අදාල වර්ණයයි . එය අධ්‍යක්ෂක වරයා මෙන්ම් නළුවාගෙද කැපවීම තුල වේදිකාව මත සාර්ථකව අපට දැක ගැනීමට හැකි විය .

නාට්‍යයේ මුල සිටම ටෝවල්ඩ් නෝරාට ආමන්ත්‍රණය කරන්නේ " මගේ පුංචි ගී කිරිල්ලි , හා පැටික්කි , බෝනික්කි ලෙසය .නමුත් ඔහුගේ ජීවිතය වෙනුවෙන් ඇය ගත් ණය පත්‍රිකාව දුටු පසු ඇයව කාලකණ්ණි ගැහැණියක් බවට පත් වෙයි .තකතීරු ගෑණියක් වෙයි .ඇයට සිය දරුවන් පවා හැදීම තහනම් කරයි .නෝරාට ටෝවල්ඩ්ව තේරුම් ගැනීමට පටන් ගැනෙන්නේ මෙතැන් සිටය . ක්‍රොග්ස්ට්ඩ් නැවත එම රහස එලි නොකරන බවට ලියුමක් එවූ විත ඔහුට නැවතත් ඇය කලින් සිටි බෝනික්කියම වෙයි .නමුත් ඇයව වටහා නොගන්නා ටෝවල්ඩ්ව ඇය වටහා ගනියි .ඔවුන් දෙදෙනා ජීවිතයේ පලමු වතාවට ආලින්දයේ මේසය මත එකට ඉඳගෙන මිනිහා හා ගැහැනිය විදිහට මේ අරගලය සාක්ච්ඡා කරයි .නෝරා ඔහුව වටහා ගෙන හමාරය .ඇය සොයන පිරිමියා මොහු නොවන බව වැටහුණු විට ඇය නියම ජීවිතය සොයාගෙන නිවස අතහැර දමා පිටව යයි .

බෝනිකි ගෙදර නාට්‍යයේ අන්තර්ගතය තුල කාන්තා විමුක්තිය පිළිබඳව කතා කෙරෙන බව හුදෙක් පවසන්නේ මෙම නෝරාගේ පිට වීම හරහාය .නමුත් එතන විග්‍රහ කෙරෙන්නේ ඔවුනොවුන් තුල පවතින් වැටහීම යන කාරණාව බව පැහැද්ලිය .කෙසේ වුවද මෙම නාට්‍ය තුල මෙවැනි වෙන් වූ ජීවිත දෙකක එක් වීමද සිදුවෙයි .නෝරාගේ හ ටෝවල්ඩ්ගේ විවාහය දෙදරා යන මේසය මතදීම ලින්ඩේගේ හා ක්‍රොග්ස්ට්ඩ්ගේ විවාහය නැවතත් එකතු වෙයි .ඒ ඔවුන් දෙදෙනගේ වැටහීම යන කාරණාව පාදක කොත ගනිමිණි .

සමස්ථයක් ලෙස මෙම නව නිෂ්පාදනය තුල නාට්‍ය සංගීතය හා වෙස් මෝස්තර ඇඳුම් නිරමාණය ඉතා ඉහළ තලයක තිබුණු බව කීව යුතුය .අනෙකුත් ආන්ශාංගිකයන්ද ඒ ආකාරයෙන්ම් නාට්‍යයේ ගලා යාමට රිසි ලෙස කළමණාකරණය වී තිබුණු බව අපට පැහැදිලි විය .

මේ ආකාරයට බලන විට ලාංකේය වේදිකාව මත සාපේක්ෂ වශයෙන් ඉබ්සන්ව නිරූපණය වූ බව කිව හැකිය . ඒ සඳහා අධ්‍යක්ෂවරයාගේ සිට විශාල කාර්යය හාර්යයක් සිදු වී තිබුණි .නූතන වේදිකාව මත රසය විඳින්නට හැකි උසස් කලා නිර්මාණයක් ජගත් බණ්ඩාරයන්ගේ දැක්ම තුල නිර්මාණය වී තිබූ බව ප්‍රශංසනීයව කීමට පුළුවන .

6/15/10

බුද්ධික දමයන්තගේ " උතුරු කොනට පටු පාරක් " වේදිකා නාට්‍යය සහෘද විමංසාව ..............


සාගින්න ජීවත්වීම හා පැවැත්ම යන කරුණු කාරණාවන් රටක් දේශයක් වශයෙන් වෙනස් නොවී සෑම පුද්ගලයාටම එක සේ බලපාන කාරණාවන්ය .නමුත් මෙහිදී වෙනස් වන්නේ ඒ පුද්ගල සමාජ තුළ පවතින තරාතිරම හා පාරම්පරික දායාදයන් ය.මේ කියන්නා වූ තරාතිරම පාරම්පරික දායාද ඔස්සේ ඒ ඒ පුද්ගලයන්ට අර කියන්නා වූ කරුණු බලපdන්නේ වෙනස් ආකාරයට බව කිව යුතුය .බුද්ධික දමයන්තගේ "උතුරු කොනට පටු පාරක්" වේදිකා නාට්‍යයේ දක්නට ලැබෙන්නේ කලින් කලට මේ කියන්නා වූ කරුණු වලට මුහුණ දෙමින් පාරම්පරිකව උරුම වන පැල්පත් ජීවිතය උර ඔවාගෙන ඇවිද යමින් ජීවත් වන යුවළකගේ හා කාපිරි මහල්ලකුගේ සිද්ධි මාලාවකි .

නිතැතින්ම කාන්තාව හා පිරිමියා සංසන්දනාත්මකව සමාජ අරගල වලට මුහුණ දෙන ආකාරය වෙනස් වුවද මෙම සමාජ අරගලය තම ජීවන අරගලය හා බද්ධ වෙද්දී එහි එම අරගලයට එක සේ මුහුණ දීමට දෙදෙනාටම එක සේ සිදුවෙයි .නමුත් මෙම ජීවන අරගලය ඔස්සේ ගැහැණිය මානසික වශයෙන් අසංතුලිත වීමට පුලුවන .මෙම නාට්‍යය තුළ ප්‍රධාන නිළි භූමිකාව බවට පත් වන්නේ "ලෙනා " නම් වූ චරිතය යි .ඇය " බොස්පෑන් "ගේ බිරිඳයි . මොවුන් දෙදෙනාම ඇලෙස්කානු පැල්පත් නිවාස වල වෙසෙන දෙදෙනෙකි .සාධාරණාත්මක මෙන්ම අපූර්වත වූ රංග කාර්යයක යෙදෙන මෙම "ලෙනා" නම් වූ චරිතය එය රංගනය කරන නිළිය විසින් සාධාරනාත්මකව ප්‍රේක්ෂකයා වෙත ගෙන යනු ලබයි . මෙම චරිතය හැඟීම් සොයා යන ජීවන අර්බුධයක ඇලීගැලී සිටින චරිතයකි . පෙර ව්සී තම පැල්පත් විනාශ කිරීමට සුද්දන් පැමිණෙන විට බොස්පෑන් ඔවුන්ට උදව් කර තිබේ .ඒ පිලිබඳවම දොස් නගන ලෙනා , මෙතනින් ඊළඟට කොහේ කොතැනට යා යුතුද කියා හෝ නොදන්නේ බිරිඳක වශයෙන් බොස්පෑන් යන පසුපසම යන නිසාය .නාට්‍යය තුළ පසුතලය නිර්මාණය වන්නේ ලී කුඩු වැලි සහිත මඩ බවට පත් වන පරිසරයක් ලෙසටය . නාට්‍යය තුල මොවුන්ගේ ජීවිතද මඩේ එරුනු ජීව්ත වැනිය. බොස්පෑන් මෙම බිමෙහි නැවතීමට උත්සහ කරන විට , ලෙනා අකමැත්තෙන් වුවද මෙම යතාර්තයට මුහුණ දීමට උත්සහ ගනියි .මින් පසුව නාට්‍යය තුළ චරිත විශ්ලේෂනය වීමට පටන් ගන්නේ කාපිරි මහල්ලාගේ පැමිනීමෙන් පසුවය .

ගැහැණිය හා ස්වාමියා අතර විවාහය යන සංකල්පය පළමුව ආරම්භ හෝ නිර්මාණය වන්නේ සිතෙහිය .සත්‍ය වූ සමාජ කාරණාව වන්නේ,විවාහයට පෙර ස්වාමියා ගැහැණිය පසු පස හඹා ගොස් විවාහයෙන් පසුව ගැහැණිය තම ස්වමියා පසුපස හඹා ඒමයි .ඒ ඇය හා ඔහු පසු පස හඹා යනුයේ ඔවුනොවුන්ගේ හැඟීම් යන කාරණාව නිසා මිස වෙනදු කාරණාවක් නොවෙයි .

මෙම නාට්‍යය තුළ අපට දැකිය හැකි කාරණාවක් වන්නේ ,බොස්පෑන් තම ජීවන ක්‍රමය යතාර්ථයම කොට ගනිමින් එහිම ලැග සිටීමය.එහිදී ලෙනාගේ හැඟීම් ඔහුට විහිළුවකි.විකාර හා මැසිවිලි කීපයක් පමණි. ඇය ඈත යනු දුටු කාපිරි මහල්ලා තමන් වෙතට ගෙන්න ගනු ලබන්නේ මෙම කාරණාව මතය. ඇය නිතැතින්ම ගැහැනියකි .ඇයට ඇය හා කතා කිරීමට අයකු අවශ්‍යය . ඇයගේ හැඟීම් සංනිවේදනය කර ගැනීමට කෙනෙකු අවශ්‍යය. මෙම අවශ්‍යතාවයන් මත බොස්පෑන් ක්‍රියා නොකරද්දී ඇය එම මහල්ලාව එහි නතර කර ගනියි.ඒ බොස්පෑන්ගේ දුර්වලකමින්ද ප්‍රයෝජන ගනිමිනි.

පුද්ගලයන් අතර පවතින අරගලයන් හැඟීම් සමග පමණක් මුසු කොට බුද්ධිය නෙරපා දමද්දී එකිනෙකා අතර වූ සහසම්බන්ධතාවය ගිලිහී යයි. මෙම නාට්‍යයේ පුරාවටම ලෙනා තම ජීවන කටුකත්වය කාපිරි මහල්ලා සමග කතා බහ කරයි.මෙහි දී අප විචක්ෂණයට ලක් කළ යුතු ප්‍රධානම කාරණාව වන්නේ,මහලු කාපිරි මහල්ලාගේ භාෂාව ලෙනාට නොවැටහීම හා ඇය ඔහු සමග තම ජීවිතය කතා බහට ලක් කිරීමය .එයින් අපට පැහැදිලි වන්නේ ඇයට තමන්ගේ කතා වලට සවන් දෙන අයකු අවශ්‍ය වූ බවයි. මෙය ලෙනාගේ පමණක් නොව සර්වකාලීන ගැහැණියගේ යථාර්තය යි.

නාට්‍යයෙහි එක් අවස්ථාවකදී ලෙනා තමන් ළඟ තිබූ පාන් ගෙඩියක් කාපිරි මහල්ලටද දී තුනට කඩා කෑමට තීරනය කරයි.නමුත් බොස්පෑන් එයට විරුද්ධ වෙයි. ඈතැම් විටක ලෙනා නොමැති එවූ විට බොසපෑන් කාපිරි මහල්ලාට පහර එල්ල කරයි. තවත් විටෙක ලෙනාව සීතලේ තබා බොස්පෑන් පමනක් අටවා ගත් පැලට රිංගයි. මේ සියලුම දේවල් සිදුවන්නේ බොස්පෑන් ලෙනාව නිසියාකාරව තේරුම් නොගැනීම නිසාය. විටෙක මහල්ලා පිලිබඳව ඇතිවන ඊර්ෂාව නිසා ව්ය හැකිය.

නළුවාගේ රංගන පෞරුෂය ඉත සාර්ථක ලෙස මතු පිටටගල එන්නේ එම නළුවාගේ ශරීරය තුල සැඟව තිබෙන කැත එලියට උද්දීපනය කර පෙන්වන තරමටය. මෙම නාට්‍යයේ "ලෙනා'ගේ භූමිකාව තුල එම නිළි වර්ගයා "තමන් යන ප්‍රස්තුතයෙන් මිදී යථාවාදී චරිතයට සමාරෝපනය වී තිබේ. කටහඬ ,අංග චලන හැසිරීම නාට්‍යයේ චරිතය හා බද්ධ කොට චරිතයට මනා වූ සාධාරණයක් ඉටු කරයි."බොස්පෑන්"ගේ චරිතය ද එසේමය .නාට්‍යයේ අවසානය වෙත අපගේ විචක්ෂණ බුද්ධිය යොමු කරන විට ,ගැහැණියකගේ පෞරුෂය ඔස්සේ පුරුෂයාගේ ආත්මාර්තකාමීත්වය බිඳවැටෙයි. විටෙක බොස්පෑන් ලෙනා පසුපස පහර දීමට දිව යද්දී එක් වරම ඇය ඔහුට තර්ජනය කරයි. බොස්පෑන් නිෂ්චල වෙයි.

නාට්‍යය අවසානයේ දී මහල්ලා මිය යයි. එහිදී මොවුන් දෙදෙනා අරගල කරන්නේ මෙම වරද බෙදා ගැනීමටයි.නමුත් මහල්ලා මිය යන්නේ ඔහුගේ වයසට මිස මොවුන් දෙදෙනාගේ බලපෑමකින් නොවේ. නමුත් හෙට උදෑසන මොවුන් දෙදෙනාට මුහුන පෑමට සිදුවන යතාර්ථය වෙනස්ය.මෙය මරණයක් බවට නියත වශයෙන්ම සිතනු ඇත.එම නිසා මොවුන් දෙදෙනා අරගල කරයි. බොස්පෑන් ලෙනාව දමා යන්නට සදයි. අවසානයේ දී මොවුන් දෙදෙනාම මහල්ලගේ මළකඳ එතනම දමා යලිත් වෙනත් තැනක් සොයා යයි. නැවතත් ඔවුනොවුන් ඔවුන්ගේ යතාර්ථයන්ට මුහුන දෙනු ලබයි.

"උතුරු කොනට පටු පාරක් " නට්‍යයේ රංගනය තුළ දැකිය හැකි විශේෂත්වය වන්නේ සංවාද කීමට වඩා එහා ගිය රංගන පෞරුෂයක් ගොඩ නැගී තිබීමය.එය මනා ලෙස නාට්‍ය අධ්‍යක්ෂක විසින් හසුරුවා ඇත. රංගාලෝකය අප නාට්‍යක් සඳහා යොදා ගත යුත්තේ හුදෙක් නළුනිළියන්ගේ අලංකාරයට නොව නාට්‍ය පෞරුෂයට බව පිළිගත යුතුය. රංගාලෝකය මගින් පාත්‍ර වර්ගයාව ප්‍රේක්ෂකයාට පෙනිය යුතු සේම ,නාට්‍ය දේහයටද සාධාරණීකරනයක් ඉටු විය යුතුය. මෙමේ "උතුරු කොනට පටු පාරක් " නාට්‍යයේ මෙම කාරණය මැනවින් වටහාගෙන තිබෙන බව සහෘද අපට වැටහේ. නාට්‍යයේ සිදුවන සිද්ධි මාලාවට ,වේලාවට,සිදුවන පරිසරයට උචිත පරිදි අවශ්‍ය රංග ආලෝකය නිර්මාණය කොට ඇත. නාට්‍යයේ සාර්ථකත්වයට එයද පිටිවහලක් වී තිබෙන බව කිව යුතුය.

5/15/10

අහිංසකයාගේ සිහින වෙන්දේසිය


අපි මහ පොළොව මත ජීවත් වන්නෙමු . ඒත් ඒ නිකනිදු නොවෙයි .බලාපොරොත්තු , ආශාවන් , කොටින්ම කියතොත් සිහින එක් රැස් කරමිණුයි . ඒ සිහින දවසින් දවස සැබෑ වෙනවා වෙන්නට පුළුවන . නැතිනම් මියැදෙනවා වන්නටද පුළුවන . කෙනෙකුට ආදරය සිහිනයකි . කෙනෙකුට ජීවිතය සිහිනයකි . තවකෙකුට වෙනත් සිහිනයකි . මේ සියලු දෙනා මෙම සිහිනයන් සඵල කර ගැනීමට උත්සහ දරන්නේ මෙම සමාජ සංකල්ප්ය තුළ ශූණ්‍ය නොවී දැඩි චරිත බවට පත්වීමටයි . එහිදී තම ජීතය යනු ඔහුට කුමක්ද ? ආදරය යනු ඔහුට කුමක්ද? .
ඇමරිකාව තුළ " ඇමරිකන් අයිඩල් " වලින් ඇරඹුණු සිහින වෙන්දේසිය අද ලෝකය පුරා යන්ත්‍ර ලෙස ක්‍රියාකරයි . එය ලංකාව තුළද විවිධ වූ නම් වලින් කෙරයි . ජීවත් වීමට වෙර දරණ අපේ තාරුණ්‍යය අද සිහින තරු මාවතේ සිඟාකයි . නිර්වින්දණීය වූ රෝගීන් බවට පත්ව සිටියි . කෙසේ වුවද විශ්ව ගම්මාන සංකල්පය තුළ සුපිරි තරු බිහිකිරීමේ ක්‍රියාව සාධාරණීය වීමටැ පුළුවන .නමුත් ඒ හීනය දකින ඇතමුන්ගේ දුර්වලතා මෙම නාළිකාවන් තුල ප්‍රචාරක මාධ්‍ය බවට පත් කර ගැනීමට අවශ්‍ය නැත . මෙම ඛේදවාචකය ඔබ මා සියැසින් දිටිමු . සුපිරි තරු වේදිකාවේ අපූරු වූ මන නන්දනීය රැඟුම් අපද දුටහ .නමුත් ඒ අතර අහිංසක සිහින දකින උන්ගේ අහිංසකකම එදා ඒ වෙදිකාව මතම වෙන්දේසි විය . ඒ කෝටි ප්‍රකොටි ගණනින් නොව ආත්මගත හැගීම් ලෙසටය . එම නාළිකාවන් ඔවුන්ගේ මෙම අහිංසක නොමේරූ හීන රසකර බුදින්නට විය . එය ප්‍රේක්ෂකයන්ගේද බඩගෝස්තරවලට යොමුකළහ . අපිද මනුස්සයෝ වෙමු .....මිනිසා තිරිසනුන්ගෙන් වෙන්වන්නේ මිනිසා තුල තිබෙන බුද්ධිය හා චින්තනයේ පවතින උසස් බව නිසයි . එසේනම් මෙවැනි දේ කිරීමට තරම් මෙම නාළිකාවේ පිරිස තිරිසනුන් වූයේද ....... ? ඒ අහිංසකයින්ගේ සිහින බන්දේසි මත තබා රසකර කන්නට තරම් තිරිසන් වූයේද ..... ? එය දැක රසවින්ද වුණුන්ද එසේමය . හදවතට මෙය දැණුනු ඇත්තෝ මිනිසුන් වශයෙන් හැඬිය යුතුය . දැන් දැන් ඔබගේත් මගේත් සිහින ප්‍රචාරණ මාධ්‍ය බවට පත්වීමට පුළුවන . අහිංසක ඒ මිනිසුන්ව කවුරුන් හෝ දැණුදු අනුබව කරනවා ඇත . ........

4/24/10

උඹත් ඇයත් කලාවක්............


සිත්තරකුගේ
දෑ තුඩු මතින් අබමින්
විලි ඇරත් ඩේවිඩ්
නිම වීය
ඒ දෑ තුඩෙන්ම
විලි වැසූ ඇයවද නිමවමින්.........
නමුත් ;
කවුරුන්ද කීවෙ
" විලි ලැජ්ජ නැති ඩේවිඩ් "... ?
ඒ උඹත් ඇයත්
කලාවක් බව දන්නා
දන්නා හෙයිනි........
ඇරත්..... ,
පාෂාණ භූතව සිටින.......

ඒත් මා නොවේ ඒ රහල් හිමියන්........


සුලැඟිලි නැතත් එල්ලෙන්න
කහවත් උනා
කුණු කිළිටි වත උඩින්
නිවන් සක්මනට මා
සැරසුනා විතරයි ........ !
ඒත් මා නොවේ
ඒ රහල් හිමියන් .
මම තවම
කිරි සුඳවත් නොගිය
රහල් හිමි නමකි
පෘතග්ජන ................ !

4/18/10

කඳුල හා සතුට අතර තනිවුණු ගැහැණිය ....... !


කඳුල හා සතුට
අතර තනි වුණු ළමා තැනී.......
ඩාවින්චිගේ සිතඟ රැඳි ,
ඔහුගේ හදගැස්ම
සංස්පර්ශනය කළ
විලි වැසූ ගැහැණිය .
අද මා දෙස බලා සිට්යි
පාෂාණ භූතව ......
කඳුල හා
සතුට අතර තනිවුණු
ගැහැණිය ....... !

2/16/10

අම්මා නමට සිගමන් යදින්නී ....... !


උනා තම උර පට
තබා තන පුඩුව
බිළිඳුගේ දෙතොලතර
උරන්නට දී
සිගමනින් පිරි
ශිරා ලෙය
ඇය තවත් නගන්නී
සිගමන් විලාපය
තම පුතුගෙ
හෙට වේල පිරිමහන්නට.........

ඇය අම්මා නමට
සිගමන් යදින්නීය.... !

යොවුන් ආඥාදායකයින්ගේ ඛේදවාචකය.........


නූතනය වන තෙක් අපට ඇසුණු දැනුණු කාරණාවක් වූයේ ලාංකේය වේදිකාවට නිර්මාණ හා ප්‍රේක්ෂක හිඟයක් පවතින බවයි . ඒත් අද වන විට වේදිකා නිර්මාණ මෙන්ම පේක්ෂක පිරිසක්ද නිර්මාණය වී සිට්යි .එය මෑතක දී පැවති රාජ්‍ය නාට්‍ය උළෙල හා ජාතික් යොවුන් නාට්‍ය උළෙල මගින් පැහැදිලි වෙයි .නමුත් මෙවර පැවති ජාතික යොවුන් නාට්‍ය උළෙල තුල මා දුටු කාරණාවක් වන්නේ මෙම නිරමාණය වන පේක්ෂක පිරිස කුමන මතයක හිඳ ප්‍රේක්ෂකාගාරය වෙත එනවාද යන්නයි.මෙයට හේතුව වන්නෙ මෙවර යොවුන් නාට්‍ය උළලේ බොහො නාට්‍ය මගින් ලිංගිකත්වය හා මානුෂික ආතතිය රසවින්දනය කරා පොළඹවා තීබීමයි .
යොවුන් නාට්‍යකරුවා යනු නිර්මානශීලීත්වය සමග රැඳෙන පුද්ගලයෙකි .මෙවර යොවුන් නාට්‍ය උළෙලේ බොහෝ නාට්‍ය නිර්මාණ තුල ආලෝකකරණය , පසුතල නිර්මාණය පිළිබඳව දස්කම් පෙන්වා තිබූ බව මාගේ පෞද්ගලික මතයයි .නමුත් අන්තර්ගතයන් තුල දුප්පත් බවක් මා හට දකින්නට ලැබුණි .මෙවර නාට්‍ය උළෙල සඳහා වූ බොහෝ නාට්‍ය කරුවන් කතාකරන්නට හෝ උළුප්පා පෙන්වන්නට හෝ උත්සහ දරා තිබුනේ ලිංගිකත්වය හා මානසික විකෘතියයි .මේ සඳහා යොදා ගෙන තිබුණු භාෂාවන් හා සිදුවීම් පිළිබඳව මා පෞද්ගලිකවම කණගාටු වෙමි .මෙහිදී මූලිකවම ප්‍රශ්නයක් බවට පත් වන්නේ ප්‍රේක්ෂකාගාරය තුල සිටින අපට නොව පාසල් ළමුන්ටයි .අපට වේදිකා නාට්‍ය රඟහල "වැඩිහිටියන්ට පමණයි " කියා සීමා දැමීමට නොහැක .මෙය අපූරව නිර්මාණ මැවෙන සොඳුරු ආඥාදායකයින්ගේ මංගල්‍යයකි .
මෙවැනි කාරනා නිසා මා හට ලැබුණු අත්දැකීමක් වූයේ මෙවර නාට්‍ය උළෙල තුල මානසික තෘප්තිය ලබන කලා රසයකින් තොර පිරිසක් මේ වටා රොක් වූ බවයි .මෙවන් අසහනකාරී පිරිසක් අප බිහිකළ යුතුද යන්න තරුණ නාට්‍ය කරුවන් විමසා බැලිය යුතු කාරණාවකි .

අදවන විට ඇතැම් පිරිස් මෙම තරුණ ප්‍රේක්ෂක පිරිස් වෙත ගෙන යන කාරණාවක් වන්නේ නාට්‍ය තුල ව්‍යංගය තිබීම හා එය හාස්‍ය ජනක ව්‍යංග ලෙස අප දැකිය යුත් බවයි .මෙම කාරණය නිසා මා ලද අත්දැකීම වන්නේ නාට්‍ය තුල නොමැති ව්‍යංගයන් ;පැමින සිටි පිරිස් විසින් උලුප්පා දමා රසවින්දන පරාස හකුළුවා දැමීමයි .නාට්‍ය තුල හාස්‍ය ජනක ව්‍යංග තිබීමට පුළුවන .නමුත් මෙහිදී ඇති වන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ මෙවර් පැවති යොවුන් නාට්‍ය උළෙලේ එවන් පරාසගත නාට්‍ය තිබුනේද යන්න..... .වස්තු බීජය ගෙන එය විහිදුවා උඩ අතගාමින් ප්‍රේක්ෂකයාට හිනා පෙති කවා රසවින්දනය ලබා දුන් නට්‍ය මෙවර නාට්‍ය උළෙල නියෝජනය කරන ලදී .නමුත් ඒ අතර ඉතා විශිෂ්ට ඝණයේ නාට්‍ය නිර්මාණද තිබූ බව කිව යුතුය .මා මෙහිදී උතසහ කරණු ලැබුවේ මෙවර යොවුන් නාට්‍ය උළෙලේ වූ නාට්‍ය වල මා දුටු ඛේදවාඡකය පෙන්වා දීමටයි ............

මෙය සංවාදයට විවෘත බවද කිව යුතුය...