ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

Showing posts with label සතුට හා දුක. Show all posts
Showing posts with label සතුට හා දුක. Show all posts

8/20/13

ඔබ නොමැති අඩ නින්ද ...... !


                             කටු එලිය විහිදිච්ච කටු ලන්දේ
                             පුන් සඳ විතරයි වැව් කන්දේ
                             ඔබ සිත ඇත දැන් තද නින්දේ
                             මා සිත විතරක් අඩ නින්දේ


8/15/13

ග්ලැඩියේටර් ප්‍රේමය



පසෙකලා ඔබ 
මගේ තනි හිත

අරුත් සුන් වු
ග්ලැඩියේටර් ප්‍රේමයට
කෙසේ මුල පුරන්නද
අරුතවත් නොදැන

ඔය ඔබේ 
අහංකාර හිත

8/15/12

බුදු සරණයි මහත්තයෝ ... ! ( කෙටි කතාව )


                                                                                                                ගෙවෙන  හැම තප්පරයකම එක එක ගැටළු වලට උත්තර හොය හොය ජීවත් වන අපිට සමාජයේ අපි වගේම ජීවත් වෙන අයගේ හදවත ඇතුලට රිංගලා ඒ හදවත් වල තියෙන දේවල් කියවන්නෙ ඔහෝම කලාතුරකින් . වාසනාවට හෝ අවාසනාවට හෝ වේවා පමණක් දේවල් දිහා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න අහගෙන ඉන්න ශක්තියක් මට ඇතැයි මා සිතමි .


එදා සෙනසුරාදා දවසකි .පුරුදු පරිදි මා පුස්ථකාලයට යෑමට බසයට ගොඩ විය . වට පිට බලා ඉඳ ගැනීමට ආසනයක් සෙවූ මා හට ඉඳ ගැනිමට තවදු බසය තුල ඉතිර්ව තිබුනේ එක් ආසනයක් පමණි .බසයේ ඉදිරිපසම ආසනය වු එහි මා ඉඳ ගත්තේය . මාගේ ආසනයේම ඉඳගෙන සිටියේ තරමක් මැදි වයස ඉක්ම වූ කාන්තාවකි .මදක් අපිලිවෙල ගතියකුදු ඈ තුල තිබුණි .



බසය කොළඹ බලා වේගයෙන් ගමන් ආරම්භ කලේය .බසය ගමන් ගත් වේගය නිසා ඒ තුල සිටි සියල්ලොම මදක් විමසිල්ලෙන් අල්ලාගෙන සිටියේය .එසේ ටික දුරක් ගමන් ගන්නට වූවා පමණි . විශාල හඬක් එක්කම බසය නතර විය .සිදු වූයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි විය .



" හරක් හැපුනට ගානක් නෑනෙ මහත්තයො .පොලිසියෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ . හරක් කොහොමත් ඔහේ පාර පනින්වනෙ . ඔව්ව ඒ මහත්තරු දන්නවා ... "



මාගේ ආසනයේ සිටි ඇය මා දෙස බලා කියන්නට විය . මා ඇය සමග දොඩමළු වීම්ට උතසහ නොගත්තද මා ඇයට සිනහවකින් මාගේ අදහස කීවේය .ටික වේලාවකින් බසය තුල වූ නොසන්සුන් බව හීන වි නැවතත් සුපුරුදු පරිදි බසය ගමන් ආරම්බ කලේය . එතරම් ප්‍රියජනක ස්වරූපයක් ඈ තුල නොවූවද ඇයගේ ඇතැම් ක්‍රියාවන් දෙස මා විමසිල්ලෙන් බලා සිටියේය .

එක් වරම ඈ ඇයගේ ලේන්සුව ගෙන ඒ තුල ගුලි කරගෙන සිටි සල්ලි කොල කීපයක් දිග හැරියාය . නමුත් ඒ අතර එක් සල්ලි කොලයක් ඉතාමත් පිලිවෙලට තබාගෙන සිටිනු පෙණින .මා ඇය දෙස බලා සිටිනු ඈ දැක්කාය .එක වරම මා දෙස බැලූ ඇය මද සිනාහවක් පළකළේය . ඊලගට වීම්ට යන්නේ කුමක්දැයි මා හට සිතා ගැනීමට පුළුවන . මා ඉදිරිපස හැරී ගමන් ගත්තේය .


මාගේ නිගමනය නිවැරදිය . එක්වරම ඇය මා දෙසට හැරී කතා කිරීමට පටන් ගත්තේය .



" මහත්තයෝ ..., මහත්තය ළග රුපියල් පනහෙ කොලයක් නැද්ද ... ? "



" නෑනෙ . මාරු සල්ලි කීයක්වත් නෑ . " මා පිලිතුරු දුන්නෙමි .



ඇය එක්වරම ඇය ළග තබාගෙන සිටි රුපියල් පනහෙ කොල දෙකක් මා හට පෙන්නුවේය .ඉන් එක් කොලයක් අලුත් පනහෙ කොලයකි .



" මේ බලන්න මහත්තයෝ .. , මේ සල්ලි කොල දෙකේ වෙනස . මේකට වඩා පුදුම ලස්සනක් මේකෙ තියෙන්නෙ නේද මහත්තයො . මේක අලුත්ම පනහෙ කොලයක් . මට මේක මහත්තයෙක් මහත්ත්යො මේක දුන්නෙ . .. ....මහත්තය දැක්කද අලුත් පන්සීයෙ කොලේ ... ? ඒක දම් පටයි ......"



ඇය තමන් ලග තිබූ පනහෙ කොල දෙක දෙස බලමින් සිටියාය .මා පෙරටත් වඩා දැන් ඇය පිළිබඳව විමසිලිමත්ය .



" මහත්තය ළග නැද්ද අලුත් පනහෙ කොලයක් .මම මහත්තයට මෙ පනහෙ කොලේ දෙන්නම් "



මා හට තවමත් සිතා ගැනීමට නොහැකිය .ඇයට අවශ්‍ය වන්නේ අලුත් පනහෙ නෝට්ටුවකි .ඇයට මෙතටම් ඒ අලුත් පනහෙ නෝට්ටුව සමීප වී ඇත්තේ ඇයි දැයි සිත ගැනීමට නුපුළුවන .ඒ එක අලුත් නිසාවෙන්ද ... ? නැතිනම් එය මහත්තයෙක් දුන් නිසාවෙන්ද ... ? ඇතැම් විට එසේ විමට පුළුවන . එය අලුත් නෝට්ටුවකි . එය දී ඇත්තේද මහත්තයෙකි . ඒ මහත්තයා හා රුපියල් පනහෙ මුදල් නෝට්ටුව අතර වූ සම්බන්ධය ඇය කෙතරම් දුරට සමීකරණය කොට ඇත්ද ..... ?



" ඇත්තටම මං ළග පනහෙ කොලයක් නෑනෙ ... "



" අහ් ... කමක් නැ මහත්තයො ."



ඇය ඒ සියල්ල පෙර සේම ලේන්සුවේ ඔතාගත්තේය .නමුත් අලුත් පනහෙ නෝට්ටුව පමණක් ඇගේ හදවත තුලට රිංගා යනු මට පෙණුනි .



" මං ඉස්සරහ බහිනවා මහත්තයො . බුදු සරණයි ... ! "



" බුදු සරණයි ... ! "



ඇය ආසනයෙන් නැගිටිමට උත්සහ ගෙන නැවත මා දෙසට හැරුණේය .



" අනේ , මහත්තයො ... කරදරයක් නැත්නම් ඔය බිම තියෙන කිහිලිකරුව පොඩ්ඩක් අරං දෙනවද .... ?



එවේලෙහි මාගේ හදවත ඉරාගෙන පුදුමාකාර වූ කම්පණයක් නිදන්ගත විය .තවමත් එය හදවත තුල හඩ නගණු මට දැණේ . ඒ අවසානය මා විසින් කිසිසේත්ම අපේක්ෂා නොකළ අවසානයක් විය .

11/2/10

උඹ නිරුත්තර වේවි ..... !


මා විශ්වාස කලෙමි
නිසැකවම ඔබ
විශ්වාස කළ බව මාව
ඔබටත් වඩා
මා සිත විශ්වාස නොකලද ............ !

" කෝ උඹේ හදවත "
ගොළු විය මා වදන්
ඇසූ පමණින්
නොඅඩුව වේගයෙන්
පුපුරා ඇදෙන ව්දුලි සැර .............. !

නොමැත මා ළඟ පිළිතුරු
වෑයම් නොකරමි
පබදින්න පිළිතුරු ........ !

බලාපං හෙටින් පසු
කටු ගෙදර බිත්තියක
තිබෙන හැටි
උඹ ඇසූ හදවත
මිහිදන්ව......... !

එවිට
බොහෝ අය අසාවි
" කෝ උඹේ හදවත "

උඹ නිරුත්තර වේවි ..... !

4/24/10

මම තාම පෘත්ග්ජනයි අපෙ හාමුදුරුවනේ.....


මට සමාවෙන්න ලොකු හාමුදුරුවනේ .... ගමේ උන්ට ලොකුවට ඕක දැනිච්චාවේ .මම ඒ උපාසක අම්මත් එක්ක කතා කරන එක ඇත්ත හාමුදුරුවනේ.මමයි ඒ උපාසක ඇත්තිට ඉගෙන ගන්න පොත් පවා දුන්නෙ .දවසක් ඒ ඇත්තිට කන්න අරන් දුන්නා හාමුදුරුවනෙ ගමේ කඩේදි . ඒ හින්ද වෙන්න ඇති හාමුදුරුවනෙ ගමේ උන් රෑට රෑට පන්සල් වත්තට ගල් ගහන්නෙ ....... . මට සමාවෙන්න අපෙ හාමුදුරුවනේ ...... ඒ මගේ එක බඩ වැල කඩාගෙන ආපු නංගි . අත්තම්මා ළඟ හැදිච්ච කෙල්ල මමයි හාමුදුරුවනේ කොළඹ එක්ක ඇවිල්ලා උගන්නන්නේ .බෝඩිමට සල්ලි හොයන්නෙ ඒකි කුලී වැඩ කරලා . එකිගෙ අත්වල කර ගැට හාමුදුරුවනේ ..... හැමදාම කහට උගුරක් බීලා පංති යන කොට , මම කොහොමද හාමුදුරුවනේ බලාගෙන ඉන්නෙ ..... ? මේ සිවුර ඇතුලෙ ඉන්නෙ මනුස්සයෙක් හාමුදුරුවනෙ.... .ගමේ උන්ට ඒක පේන්නෙ නැහැ .මම රහත් වෙලා නැහැ . මම තාම පෘත්ග්ජනයි අපෙ හාමුදුරුවනේ....... මම තාම පෘත්ග්ජනයි .

4/2/10

ඒත් ...... ඇය නිහඩ විය .


පියවර මැවුණි
ගන අන්ධකාරය තුලම
විසිරුණු සිනහ සමගින් .
කඳුළු හන්ගා
ඇස් පියන් යට
කරයි එක ඉඟි පෙලක්
රාත්‍රිය පුරාවට
සිත පවා නිහඩ කරගෙන ............... .

වසා තම නෙත්
ඇයටත් හොරෙන්
මුසපත් කළා වර්ණ පටලය
මදකට වසා
පව්කාර අතීතය ...........
ඒත් ..... ඇය
තවම නිහඩයි .

ඇගේ රත්වන් කමුල් මත
වැටුණි එක හාදුවක්
සලිත කරමින් දෙපාතෙක් .
ඒ සමඟ ;
බේරුණා එක කඳුළු බිඳුවක්
ඇගේ හදවත තුලම
ඉරාගෙන පව්කාර අතීතය
ඒත් ...... ඇය නිහඩ විය ................


3/18/10

" ඇයි මල් වඩමක් ගෙනාවෙ නැත්තෙ" ( නව නාට්‍ය නිෂ්පාදනය )


අද උඹේ අවමඟුල් දවස.... ඒ වගේම අපේ මගුල් දවස. කොටින්ම කිව්වොත් අද තමා අපේ වෙඩින් ඇනවසරි එක .
මෙන්න .... මෙන්න මම උඹට ලස්සන මල් කලඹක් ගෙනාවා.උඹ ඒකට ආස ඇති .ඒත් ඇයි උඹ අහන්නෙ නැත්තෙ " ඇයි මල් වඩමක් ගෙනාවෙ නැත්තෙ" කියලා . ඇත්තටම උඹ මැරුනෙ තනියම . එ නිසයි මම ගෙනාවෙ නැත්තෙ .

මම දන්නවා උඹ මේ මල් වලට ආස නැතුව ඇති සුදු පාට නිසා . උඹ ආස කලු පාටට . මම ඒක දන්නවා .ඇත්තටම උඹ සුදු පාට උනානම් මම හරි ආසයි . එතකොට උඹේ ඔය ඇගේ ගෑවෙන කුණු මට පේනවා .එතකොට මට ඒ කුණු හොදට පිහිදන්න පුලුවන් . උඹ කළු පාට නිසා මට ඒව පේනවා අඩුයි .

රෑ වුනාම මට උඹව හරියට පේන්නෙ නැහැ . එතකොට මට ඒ වේදනාව දරාගෙන ඉන්න බැහැ .ඒ වෙලාවට මගේ මුළු ඇගම සීතල වෙන්න පටන් ගන්නවා .ඒ සීතල මගේ ඇඟ ඇතුලටම කිඳා බැහැලා නහර වැල් දිගේ එලියට එන්න දඟලනවා . මට ඒ වේදනාව දරා ගන්න අමාරුයි .

අන්න ඒ වෙලාවට තමයි .... මම උඹව හොයාගෙන මෙතනටම එන්නෙ . පුළුවන්නම් මාව උණුහුම් කරපන්...... ඒ උණුහුමින් මගේ ඇග අතුලෙ තෙරපෙන ලේ මිදිලු දිය කරලා දාපං . එතකොට මට හරිම සනීපයක් දැනේවි . උබට ඕනෙනං ඒ උණුහුම එක්කම මාවත් මරලා දාපං .හැබැයි චුට්ටක්වත් රිදෙන්නෙ නැති වෙන්න . නැත්තං මට ඒ වේදනාව උහුල ගන්න බැරිවේවි . හැබැයි මට වේදනාවක් දැනුණොත් ............ මම උඹව ආපහු සැරයක් මරනවා..... . එතකොට උඹටත් ඒ වේදනාව දැනේවි ..... ! ඔව්.... ආයෙත් සැරයක් ඒ වේදනාව දැනේවි ..... !

2/18/10

නාඩ මගෙ පුතු ........



කිරට හඩනා මව්ගෙ සුදු පුතු
නැළවියන් දැන් පියන් ඇසිපිය
බිය නොවන් පුතු මාර දූටත්
අම්මා නුඹ ළඟ සිටිත් තනියට

සිඳගනන් නුඹෙ හසරැලිත් ගෙන
සඳන මුතු වැල් පළන්දයි ඉඟ
ඉතිං මගෙ පුතු නැළවියන් දැන්
සිඳගනන් හට එන්න සිහිනෙන්

නිදි කිරයි තරු රෑන් පුතු ළඟ
පුතුගෙ තනියට පිපී කඩුපුල්
නාඩ මගෙ පුතු කිරෙන් නැළවී
නැළවියන් නෙතු පිය වසා

සීත මද නළ කුමුදු පෙති ගෙන
පාව එයි මගෙ පුතු සොයාගෙන
කුමුදු පෙති මත නැළවි නැළැවී
නිදන් මගෙ පුතු නෙතු පියාගෙන

12/7/09

කඳුළ නුඹ..........


කඳුළ නුඹ.....
නුඹ තාම කෝඩුකාරයි
මා සිතුවාටත් වඩා
එපා..;
තව තවත් බර වෙන්න
කම්මුල් පුරා වැටෙන්නට
නුඹට බැරි වේවි
ඒ දුක දරා ගන්නට........
තව ටිකක් ඉවසන්න
නෙත් අගට උනන්නට..............